වරාය මූල්‍ය නගරයේ වැඩ 2025 න් ඉවරයි

කොලඹ වරාය මූල්‍ය නගරයේ කටයුතු 2025 වසර වන විට නිමා කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

” වරාය නගර ව්‍යාපෘතිය 2014 වර්ෂයේ අග භාගයේදී කඩිනමින් ආරම්භ කළා. නමුත් පසුකාලයේ ඒ පිළිබඳ බරපතළ ගැටලු කිහිපයක් පැන නැගුණා. පරිසර අධ්‍යයන වාර්තාවකින් හෝ පරිසර අධ්‍යයනයකින් තොරව එවැනි විශාල ව්‍යාපෘතියක් දියත් කිරීම මෙහි එක් ප්‍රධාන ගැටලුවක් වුණා. ඒ වගේම ලංකාවේ ප්‍රථම වරට මුහුදු ගොඩකර බිමිකඩක් ඇතිකිරීමේ  ව්‍යාපෘතියක් සිදුකරන නිසා මේ ව්‍යාපෘතියේ අනාගත  නීත්‍යනුකූල හිමිකරුවන් කවුරුන්ද යන්න පිළිබඳවද ගැටලුකාරී තත්ත්වයක් මතු වුණා.

පසුව අපි මේ සම්බන්ධව විධිමත් පරිසර අධ්‍යයනයක් කළා. ඒ පරිසර අධ්‍යයනය මගින් අපට යම්යම් දේවල් සිදුකිරීම සඳහා උපදෙස් ලැබුණා. ඒ නියෝග සියල්ලම පාහේ අපි අනුගමනය කරනවා.  දැන් ගොඩකිරීම් කටයුතු 60%ක් පමණ නිමකර තිබෙනවා. 2019 වන විට හෙක්ටයාර 269ක  මුළු ඉඩ ප්‍රමාණයම ගොඩකර අවසන් කරන්න අපි අපේක්‍ෂා කරනවා.

විශේෂයෙන් හඳුනා ගත් හෙක්ටයාර 20ක් වැනි භූමි ප්‍රමාණයක් ආරම්භයේ ගොඩනගන්න අපේක්‍ෂා කරනවා. එය 99 වසර බද්ධකට ගොඩනැගිලි ඉදිකිරීම සඳහා චයිනා හාබර් සමාගමට දෙනවා. මේ සඳහා ඔවුන්ට කළ ඉල්ලීමක් පරිදි ඩොලර් බිලයනයක් වටිනා මහල් 60කින් යුත් ගොඩනැගිලි සංකීර්ණයක් එහි ආරම්භක් වශයෙන් ඉදිකරන්න එකඟත්වය පළකර තිබෙනවා. චයිනා හාබර් සමාගමේ සභාපතිතුමා සමග අපි පසුගියදා බිජිං නුවරදී මේ සම්බන්ධ ගිවිසුමට අත්සන් කළා.

මෙය සැලකිය යුතු මට්ටමක විශාල ප්‍රවාහනයක් නිසා අපි හරිත ප්‍රවාහනය තමයි ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන්නේ. පාගමනින්, බයිසිකලෙන් හා පොදු ප්‍රවාහන සේවා සඳහා ප්‍රමුඛත්වය දෙන අතර, මෝටර් රථ සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනුයේ අවසානයට.

2025 වන විට වරාය නගරයේ සියලු වැඩ නිමා කරන්න අපේක්‍ෂා කරනවා. මෙයින් අපේ රටේ රුපියලේ අගය තවත් ශක්තිමත් වේවි. චයිනා හාබර් ආයතනයේ සම්පූර්ණ අනුග්‍රහය යටතේ වරායේ සිට කොල්ලුපිටිය මුහුදුබඩ ප්‍රදේශය දක්වා උමං මාර්ගයක් ඉදිකිරීම සඳහාද මෙහිදී ගිවිසුම් අත්සන් කළා. පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිට ඇති දර්ශන පථයට හෝ ගාලු මුවදොර පිටියේ හෝ හෝටලයේ දර්ශන පථයට බාධාවක් නොවන අයුරින් මෙම උමං මාර්ගය ඉදිකිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා දැනට මාර්ග සංවර්ධන අධිකාරියත් සමග ඉදිකිරීම් කටයුතු සම්බන්ධ පාරිසරික අධ්‍යයනයන් සිදුකරමින් පවතිනවා. ගාලු මාර්ගයේ මාර්ග තදබදයට හසුනොවී කොල්ලුපිටියේ සිට වරාය දක්වා මාර්ගයක් මෙයින් විවෘත වෙනවා”

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.