පාස්කු ඉරිදා ප්‍රහාර ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට පළිගැනීමක් / පාස්කු කොමිසමේ වාර්තාව හෙළිකරයි

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් පල්ලියට 2019 දී එල්ල වූ ප්‍රහාරයට සහ සිරියාවේ අයිසිස් සංවිධානයට එල්ල කළ ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කර ඇති බව ඒ පිළිබද විමර්ෂණය කළ ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් හෙළි වී තිබෙනවා.
පසුගියදා පාර්ලිමේන්තුවේ සභාගත කළ වාර්තාවෙන් හෙළිව ඇත්තේ ක්‍රයිස්ට්චර්ච් මුස්ලිම් පල්ලියට එල්ල වූ ප්‍රහාරය සහ සිරියාවේ අයිසිස් සංවිධානයට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් තම කණ්ඩායම හරහා පළිගැනීමට සහරාන් යෝජනා කර ඇති බවයි.
සහරාන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ 2019 මාර්තු 27 වන දින සමීර්, මුවත්, ජමීල් යන සෙසු සැකකරුවන් සමඟ කළ සාකච්ඡාවේදී බවයි හෙළිව ඇත්තේ.
මෙම ත්‍රස්ත සංවිධානයේ සූරා නම් තීරණ ගැනීමේ ආයතනයක් තිබී ඇති අතර එය සාමාජිකයන් 13 දෙනෙකුගෙන් සමන්විත වූ බව ද හෙළිව තිබෙනවා.
මෙම සාකච්ජාවේදී මිහාන් නම් තැනැත්තකු විසින් සහරාන්ගේ අඩුපාඩු 19 ක් පෙන්වා දෙමින් සංවිධානයේ නායකයා ලෙස නූෆර් නැමැත්තා පත් කිරීමට යෝජනා කර ඇති බවයි ප්‍රකාශ වන්නේ.
අනතුරුව කණ්ඩායම දෙකට බෙදී එකිනෙකාගෙන් ස්වාධීනව ක්‍රියා කළ යුතු බවට ද යෝජනා වී ඇති අතරම ආයුධ කණ්ඩායම් දෙක අතර සමානව බෙදිය යුතු යැයි ද යෝජනා කර ඇති බවයි වාර්තාව පවසන්නේ.
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් පල්ලියට එල්ල වූ ප්‍රහාරවලට සහ සිරියාවේ අයිසිස් සමූහයට එල්ල වූ ප්‍රහාරයන්ට ප්‍රතිප්‍රහාර වශයෙන් මෙම ප්‍රහාර සිදුකළ යුතු බවයි සහරාන් එහිදී පවසා තිබුණේ.
මීට සම්බන්ධ රිල්වාන් නැමැත්තා බෝම්බ නිෂ්පාදනය කිරීමට තීරණය කර ඇති අතර දින 15 ක් තුළ පතොරම් නිෂ්පාදනය කල් ඉකුත් වන බැවින් ප්‍රහාර ඉක්මනින් සිදුකළ යුතු බවටද එකඟතාවයක් ඇති කරගෙන තිබෙනවා.
ඒ අනුවයි කතෝලික දේවස්ථාන සහ විදේශිකයන් එක්රැස් වූ හෝටල්වලට පහර දීමට සැලසුම් කර ඇත්තේ.
දේවස්ථානවලට පහරදීමේදී ප්‍රහාර දෙකක් සිදුකිරීමට යෝජනා කර තිබූ අතරම එකක් දේවස්ථාන තුලත් දෙවැන්න ප්‍රහාරයෙන් පසු බියවී පලායන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ද සිදුකිරීම එම සැලසුමයි.
ප්‍රහාරයෙන් පසු පුපුරණ ද්‍රව්‍ය සහිත වෑන් රථයක් කොච්චිකාඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අසලින් හදුනාගෙන තිබූ අතර එය දෙවන ප්‍රහාරය වෙනුවෙන් රදවා තිබූ බවයි අදාළ වාර්තාව හෙළිකර ඇත්තේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *