පකිස්ථාන අගමැතිගේ ලංකා ගමන ඉන්දියාව කෙසේ භාර ගනීවිද?

ඉම්රාන් ඛාන්ට ලංකාව අලුත් තැනක් නොවේ. හිටපු ක්‍රිකට් නායකයෙක් වන ඔහු දශක ගණනාවක් පුරා ලංකාවට යමින් එමින් මිතුරන් ඇසුරු කළේය. නමුත් දැන් ඔහු පාකිස්තානයේ අගමැතිවරයාය. ඉන්දියාවත්, පාකිස්තානයත් දේශ සීමාවලට පසමිතුරුව සිටින පසුබිමක පාකිස්තාන අගමැතිවරයා ගිය සතියේ ලංකාවට පැමිණීම ඉන්දියාව තේරුම් ගත්තේ කෙසේදැයි කතාබහට ලක් විය. ඒ අතරේ පාකිස්තාන අගමැතිවරයාගේ ලංකා සංචාරයෙන් පසු කොරෝනා මෘතදේහ භූමදානයට රජය අවසර දීමද විශේෂ සිද්ධියක් විය. මේ ඒ ගැන ජාත්‍යන්තර විත්ති විශ්ලේෂකයකු වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආරක්ෂක හා ක්‍රමෝපායික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරින්ද්‍ර විදානගේ දක්වන කරුණු දැක්වීමකි.

පකිස්තාන අගමැතිවරයාගේ ලංකා සංචාරය ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය සමග විශාල බලපෑමක් එල්ලවන සංචාරයක් නොවේ. මෙම සංචාරය තුළදී මතබේදයට තුඩු දෙන ප‍්‍රකාශ හෝ තීන්දු ගත්තේ නැත.

පාකිස්තාන අගමැතිවරයා ඉදිරිපත් කළ යෝජනා හා අත්සන් කළ අවබෝධතා ගිවිසුම් ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත‍්‍රික සංචාරවලදී සිදුවන සාමාන්‍ය ආකාරයේ සිදුවීම්ය. පාකිස්තානය ලංකාවට ඩොලර් මිලියන පනහක මූල්‍ය පහසුකම් දුන්නේය. එය අවි ආයුද දීමේදී දුන් පහසුකමකි. මෙය ජාතික ආරක්ෂාව හා ත‍්‍රස්තවාදය මර්දනය කිරීම සදහා අවශ්‍ය සහාය දීම වෙනුවෙන් දුන් පහසුකමකි.

දකුණු ආසියානු කලාපයේ බලවතා ඉන්දියාව වන නිසා, ඉන්දියාවේ සංවේදීතාවය බිඳින කිසිවක් මෙහිදී සිදුවූයේ නැත. එසේ ඉන්දියාවේ සංවේදීතා බිඳින කිසිවක් නොකිරීමට ලංකා ආණ්ඩුව මෙන්ම පාකිස්තාන අගමැතිවරයාත් වග බලාගත්හ.

මෙම සංචාරය ගැන කතා කරන විට පාකිස්තානයේ අභ්‍යන්තර දේශපාලනය ගැනත් අවධානය යොමු කළ යුතුය. 2018 දී ඉම්රාන් ඛාන් බලයට පත්වන්නේ පාකිස්තාන පුරවැසියන්ගේ විශාල බලාපොරොත්තු සහිතවය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සිවිල් පුරවැසියන් වැඩි වශයෙන් රාජ්‍ය පාලනයට මැදිහත්වීම, යහ පාලනය වැනි බලාපොරොත්තු ජනතාවට තිබුණත්, මේවා කොතෙක් දුරට ඉටුවී තිබෙන්නේද යන්න ගැන අභ්‍යන්තර ප‍්‍රශ්න කිරීම් සිදුවෙයි. මේ අතර හමුදාව පාකිස්තානය තුළ ආයතනගතවී තිබේ. මේ තත්ත්වය තුළ පාකිස්තානය පූර්ව දේශපාලනික රාමුවකට පිවිසෙන්නේ මෑත කාලීනවය. පාකිස්තානයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම තමන්ගේ පූර්ණ ධුර කාල අවසන් කළේ 2007 වසරෙන් පසුවය. එතෙක් බලයට පත්වූ කිසිදු ආණ්ඩුවකට පූර්ණ පාලන කාලය අවසන් කිරීමට නොහැකිවූයේ හමුදා මැදිහත්වීම් නිසාය. මෙම පක්ෂ දෙක ගැන මෙන්ම හමුදාව ගැන ඇතිවූ කළකිරීම් නිසාත්, ඉම්රාන් ඛාන්ට පාලන බලය හිමිවිය.

පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානය අතර තිබෙන ප‍්‍රශ්න නිසා පාකිස්තානයේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් ඇතිවී තිබේ. මෑත කාලීනව ඉන්දියාවේ හමුදා අනු ඛණ්ඩවලට ප‍්‍රහාර එල්ලවීම නිසා පාකිස්තානය සමග තිබෙන සම්බන්ධතා බිඳ වැටුනේය. මේ අතර තලෙයිබාන් ආණ්ඩුව පිහිටුවීමට පාකිස්තානය උදව් කළේය. එයට හේතුවූයේ ඇෆ්ගනිස්ථානයේ ස්ථාවර ආණ්ඩුවක් පැවතීම පාකිස්තානයට යහපත් ලෙස බලපාන නිසාය.

සැප්තැම්බර් 11 ප‍්‍රහාරය නිසා ඇමරිකාවත් ඇෆ්ගනිස්ථානය තුළ ඇති කළ මෙහෙයුම් තුළ පසුගිය කාලයේදී ඩ්‍රෝන ප‍්‍රහාරය එල්ල කිරීම දැඩි කළේය. මේ ප‍්‍රහාර පාකිස්තානයටත් එල්ලවිය. මේ ගැන වැඩියෙන්ම කතා කළ පාකිස්තාන දේශපාලනඥයා වන්නේ ඉම්රාන් ඛාන්ය. එහෙත් මේ වන විට ඉම්රාන් ඛාන්ට විරුද්ධ සියලුම දේශපාලන පක්ෂ එක් කරගත් සංධානයක් පිහිටුවාගෙන කටයුතු කරයි. මේ තත්ත්වය සමග ඉම්රාන් ඛාන්ගේ දේශපාලන කටයුතු තරමක අස්ථාවර ස්වභාවයක් ගෙන තිබේ. මේ සියල්ල වන්නේ ඉම්රාන් ඛාන් සිවිල් පාලනයක් තිබුණත් හමුදා පාලනය ඉවත් කරගැනීමට නොහැකිවීම තුළය. මේ වන විට පාකිස්තානයේ ප‍්‍රධාන ඇමැතිධුර සියල්ලම දරන්නේ වර්තමානයේ හිටපු හමුදා ප‍්‍රධානීන් හෝ හිටපු හමුදා ප‍්‍රධානීන්ය. එහෙත් හමුදා ප‍්‍රධානීන්ද මේ වන විට කිසියම් ආකාරයක අප‍්‍රසාදයක් ඇතිවෙමින් තිබේ.

ඉම්රාන් ඛාන්ට 2018 දී තිබූ ප‍්‍රතිරූපය යම් ආකාරයකට හීන වී තිබේ. ලංකාවට පැමිණියේ එදා තිබූ ජනප‍්‍රියත්වය යම් ආකාරයකට හීන කරගත් රාජ්‍ය නායකයෙකි.

ඔහු ලංකාවට පැමිණෙන විට පාකිස්තානය හා චීනය අතර වන සම්බන්ධතාව ගැනද අවධානය යොමු කළ යුතුව ඇත. ඉන්දියාවේ බලය සීමාකිරීම සඳහා චීනය පාකිස්තානයට දිගින් දිගටම සහාය ලබාදෙයි. පාකිස්තාන හමුදාව හා චීනය අතර ඇත්තේ ශක්තිමත් සම්බන්ධතාවකි. චීනය හා පාකිස්තාන සම්බන්ධතා අතර ශක්තිමත් පුරුක වන්නේ පාකිස්තාන හමුදා ප‍්‍රධානී ජෙනරාල් බජ‍්‍රවාය. චීනය සමග රාජ්‍ය සම්බන්ධතා වැඩියෙන්ම පවත්වන්නේ ඔහුය. පාකිස්තාන රාජ්‍ය තුළ හමුදා බලය හා රාජ්‍ය තාන්ත‍්‍රික දිගුවක් ලෙස කටයුතු කරන ආකාරය ගැන මෙයින් පෙන්වයි. ඇතැම් අවස්ථාවලදී චීන රාජ්‍ය නායකයින් හමුවන්නේ ඉම්රාන් ඛාන් නොව හමුදා ප‍්‍රධානියාය. ඉන්දියාවේ බලය සීමා කිරීම සඳහා ගන්නා පියවරද මෙහි එක් සාධකයක් සේ ගත යුතුය.

මැද පෙරදිග කලාපයේ ඇමරිකානු මූලෝපායික කටයුතු සියල්ල ඊශ‍්‍රායලය හරහා කරන ආකාරයට චීනය දකුණු ආසියාවේ මූලෝපායික සම්බන්ධතා ක‍්‍රියාත්මක කරන්නේ පාකිස්තානය හරහාය. එක් මාවතක් එක් තීරයක් යටතේ චීනය ඩොලර් බිලියන ගණනක මුදලක් පාකිස්තානයේ ආයෝජනය කර තිබේ. පාකිස්තානයේ ගොඩාර් වරාය නිර්මාණය කර තිබෙන්නේ මේ ආයෝජන හරහාය. චීනයට අවශ්‍ය භාණ්ඩ හා සේවා, විශේෂයෙන්ම තෙල් ඇතුළු ඛනිජ සම්පත් ගොඩබිම් මාර්ගයක් නිර්මාණය කරගැනීම සඳහා චීනය හා පාකිස්තානය එක් කරමින් මංතීරු හයක විශාල මාර්ග පද්ධතියක් ඉදිකරමින් සිටී.

මේ හරහා දකුණු ආසියානු කලාපයට ගොඩබිම් මාර්ගයක් චීනයට විවෘත වේ.

ඉම්රාන් ඛාන් හා චීන ජනපති ෂී ජින් පිං අතර ඇත්තේද හොඳ සම්බන්ධතාවකි. මේ නිසා ඉම්රාන් ඛාන්ගේ ලංකා සංචාරය ලංකාවට චීන බලපෑම් එල්ල කරන්නක් බවට තර්ක ඉදිරිපත් විය. මේ හරහා ඉන්දියාව යම් ආකාරයකට සංවේදී විය හැකි බවට තර්ක ඉදිරිපත් කර තිබුණි. නමුත් පාකිස්තාන අගමැතිවරයාගේ සංචාරය අවසානයේදී බලන විට ඒ ආකාරයේ විශාල බලපෑමක් එල්ල කරන සිදුවීමක් වී තිබුණේ නැත.

මේ සංචාරය ඉන්දියාව හා ලංකාව අතර සම්බන්ධතාවලට සෘජු බලපෑමක් එල්ල කරන්නේ නැත. නමුත් පවත්නා යථාර්ථය මත මේ ගැන අවධානය යොමු කළ යුතුය. මීට සති කිහිපයකට පෙර අප කළ සාකච්ඡාවකදී පැවසූ ආකාරයට ඉන්දියාව අප දෙස බලන ආකාරය ගැන අවධානය යොමු කරගත යුතුය. ඉන්දියාවේ අවශ්‍යතාවන් අප තේරුම් ගත යුතුව ඇත. ඉන්දියාව කලාපීය බලවතා වීම නිසාම කලාපීය රටවල් ගැන දැඩි ලෙස සංවේදී වෙයි. පසුගිය වසරෙදී පමණක් ඉන්දීය පාකිස්තාන දේශ සීමා අතර ගැටුම් පන්දහසක් පමණ සිදුවී තිබේ. ඉන්දීය සොල්දාදුවන් පනහක් පමණ මේ නිසා ඝාතනය වී තිබේ. දේශසීමා හරහා සිදුවන එදිරිවාදිකම් අවම කිරීමට දෙපාර්ශ්වයම මේ වන විට එකඟ වී ඇතත්, ඉන්දීය – පාකිස්තාන සම්බන්ධතා එතරම් හොඳ තත්ත්වයක නැත. මේ නිසා පාකිස්තාන අගමැතිවරයාගේ සංචාරය ඉන්දියාවට සංවේදී වීම වැළැක්විය නොහැකිය.

පාකිස්තානය අගමැතිවරයාට මහජන ආමන්ත‍්‍රණ තිබුණේ ඉතාම සීමිත වශයෙනි. පාර්ලිමේන්තුවේදී ඔහුට තිබූ කතාවත් අවලංගු වී තිබුණි. එම කතාව පවත්වා ඔහුගේ කටින් යම් දෙයක් ප‍්‍රකාශයට පත්වූවා නම් එය ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් බවට පත්වනු ඇත. පාකිස්තාන අගමැතිවරයා පසුගිය වසරේදී පාකිස්තාන පාර්ලිමේන්තුවේදී කතා කරමින් බින් ලාඩන් අමරණීය බව පැවසූ අතර එය තවමත් ප‍්‍රශ්න කිරීමට ලක්වෙයි. කිසියම් ආකාරයකට ලංකාවේදී මෙවැනි ප‍්‍රකාශයක් සිදුවූවා නම්, ඉන්දියාව සම්බන්ධයෙන් කිසියම් ප‍්‍රකාශයක් සිදුවූවා නම් ලංකාවට ප‍්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවනු ඇත.

අපගේ කලාපයේ ආරක්ෂාව ගැන අවධානය යොමු කරන විට ඉස්ලාම් ප‍්‍රචණ්ඩ රැඩිකල්වාදය ප‍්‍රධාන තර්ජනයකි. තවත් මාස එකහමාරකින් පාස්කු ප‍්‍රහාරයට අවුරුදු දෙකක් වෙයි. සුන්නි ප‍්‍රචණ්ඩ රැඩිකල්වාදය ප‍්‍රධාන ධාරාවට පැමිණීම පාකිස්තානය තුළ දක්නට ලැබෙන්නකි. මෙවැනි සාධක තුළ නව ත‍්‍රස්ත ව්‍යාපෘතියක් පැමිණිය හැකි බවත්, ඒවා බොහෝ විට අන්තවාදීන් හරහා පැමිණිය හැකි බවත්, එයට අවශ්‍ය පරිසරයක් පාකිස්තානය තුළ ඇතිවී තිබෙන බවත් විචාරක මතය වෙයි. මෙයට පාකිස්තාන රජය සම්බන්ධ වන්නේ නැත. පාකිස්තානු සමාජය දේශපාලන වශයෙන් ඒකාග‍්‍ර කළ නොහැකිවීම නිසා ලෝකයම ඉස්ලාම් ප‍්‍රචණ්ඩ රැඩිකල්වාදය ප‍්‍රධාන ධාරාවට පැමිණීම ගැනත් සංවේදී විය යුතුය. මේ නිසාම ඉන්දියාව පාකිස්තානයේ ත‍්‍රස්ත ක‍්‍රියා කලාපය ගැන අවධානයෙන් සිටී. ඉන්දියාවේ විශාල වශයෙන් ෂියා මුස්ලිම් ප‍්‍රජාවක් ජීවත් වෙයි. මේ පවත්නා යථාර්ථය තුළ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත සිදුවීම නිසා ඉන්දියාව හා ලංකාව අතර සම්බන්ධතා ප‍්‍රශස්ත මට්ටමක නැත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදීත් ලංකාව 13 වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කළ යුතු බවට වන ස්ථාවරයේ සිටී. එය එක්තරා ආකාරයකට රාජ්‍ය තාන්ත‍්‍රික බලපෑමකි. මේ තත්ත්වය තුළ පකිස්ථාන අගමැතිවරයා ලංකාවට පැමිණීම ගැන අවධානය යොමු කළ යුතුය. එවැනි තත්ත්වයක් තුළ පාකිස්තාන අගමැතිවරයා ලංකාවට පැමිණියේ හරිම කාලයේදී දැයි ප‍්‍රශ්න කළ හැකිය. අනෙක් අතට මානව හිමිකම් කවුන්සිලයේදී ඉස්ලාම් රටවල් ලංකාවට සහාය දුන්නේය. ඒ රටවලට බලපෑම් කළ හැකි එකම රාජ්‍ය වන්නේ පාකිස්තානයයි. රජයට මේ අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය වූවා දැයි එක් පැත්කින් බැලිය හැකිය.

විදේශ ප‍්‍රතිපත්ති නිර්මාණය කිරීමේදී ප‍්‍රවේශම් විය යුත්තේ එක් අයෙක් වෙනුවට තවත් අයෙක් ගන්නවාද යන්නයි. එක් අයෙක් ළංකරගන්න විට අනෙකා දුරස් නොකර රටවල් දෙකම ළං කරගෙන කටයුතු කිරීම වඩාත් වැදගත් වෙයි. මේවා සූක්ෂම කළමනාකරණය කරගත යුතු රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා වෙයි. ඔවුන්ගේ සංවේදීතාවන්ට මුල් තැනක් ලබාදීම යම් ආකාරයක කලාවකි. මේ කලාව අවුල් කරගතහොත් අපේ රටට ප‍්‍රශ්න ඇතිවිය හැකිය.

මුස්ලිම් රාජ්‍ය නායකයෙක් ලංකාවට පැමීණිම හා කොවිඩ් මරණ ගැනත් මේ වන විට අවධානය යොමු වෙයි. කොවිඩ් මරණ භූමදානයට ගත් තීරණය හා මේ අතර යම් ආකාරයක බැඳීමක් තිබිය හැකිය. කොවිඩ් මරණ භූමදානය කරන බවට ලංකාවේ අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විට එයට ප‍්‍රතිචාර දැක්වූ පළමු රාජ්‍ය නායකයා වූයේ පාකිස්තාන අගමැතිවරයාය. ඔහු ට්විටර් පණිවුඩයක් මගින් එය පැසසුමට ලක් කළේය. එයින් පාකිස්තාන අගමැතිවරයාගේ සංවේදීභාවය මනාව පැහැදිලි වෙයි.

ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කර ඇති වාර්තාව, දෙස බලන විටත්, මේ ගැන අවධානය යොමු කර තිබේ. මේ සංවේදීතා සියල්ල තේරුම් ගනිමින් රජය මේ තීරණය ගන්නට ඇත. ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව කොවිඩ් මරණ භූමදානයට ඉල්ලීම් කළේය. මෙයට බාහිර සාධකයන්ද බලපාන්නට ඇත. අභ්‍යන්තර ඉල්ලීම් හා බාහිර ඉල්ලීම් පදනම් කරගෙන මෙම තීරණ ගන්නට ඇත. පාකිස්තාන අගමැතිවරයාගේ සංචාරය මේ තීරණය ගැනීමට එකම සාධකය නොවුණත්, එයත් එක් සාධකයක් වූ බව නම් පැහැදිලිය.

සංජය නල්ලපෙරුම

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *