ලංකාවට කරන ජාත්‍යන්තර බලපෑම්වලට විරුද්ධයි / චීනය කියයි

මානව හිමිකම් සහ සමාජ සංවර්ධනය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින අතර බාහිරින් මෙරටට සිදුකරන මැදිහත්වීම්ලට සහ දේශපාලන අරමුණු සඳහා මානව හිමිකම් භාවිතා කිරීමටත් දැඩි ලෙස විරුද්ධ බවත් චීනය පවසනවා.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මේ බව ප්‍රකාශ කළේ එරටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසියේදී ශ්‍රී ලංකාව මානව හිමිකම් පිළිබඳ ගැඹුරු විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය සිදුකළ ප්‍රකාශය ද චීනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මිත්‍රශීලී අසල්වැසියෙකු ලෙස චීනය බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව දේශපාලන ස්ථාවරත්වය, ජාතික සහයෝගීතාවය සහ එකමුතුකම පවත්වා යන අතරම සංවර්ධන ඉලක්ක ජය ගැනීම බවයි වැන්ග් වෙන්බින් මහතා පැවසුවේ.

මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම, තිරසාර සමාජ ආර්ථික සංවර්ධනය,ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම, අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල අයිතිවාසිකම් සහතික කිරීම සහ ජාතික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම මෙන්ම ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගත් උත්සාහය චීනය අගය කරන බව ද ඔහු අවධාරණය කලා.

මානව හිමිකම් සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් අවනත කරගත නොහැකි කණ්ඩායම්වලට බලපෑම් කිරීම අනුමත නොකරන බවද ඔහු පැවසුවා.

සෑම රටක්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු හා මූලධර්ම පිළිපැදිය යුතු අතර, වෙනත් රටවල ස්වෛරීභාවයට, දේශපාලන ස්වාධීනත්වයට සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට හා ආරක්ෂා කිරීමට දරන උත්සාහයන්ට ගරු කළ යුතු බවද චීනය අවධාරණය කරනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *