අධිකරණයට අපහාස කළ චෝදනා මත වෛද්‍ය පාදෙණිය ට එරෙහි පැමිණිල්ලට ලිඛිත දේශන කැඳවයි

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ට අදාළ ලිඛිත දේශන මැයි මස 10 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා.
හාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණි වියන්ගොඩ යන මහත්වරු විසින් ගොනුකර තිබූ මෙම නඩුව අද කැදවනු ලැබුවේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල හමුවේයි.
නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා මෙම නඩුවට අදාළව වග උත්තරකරු විසින් සිදුකළ ප්‍රකාශය අඩංගු සංයුක්ත තැටියක් ඉදිරිපත් කිරිමට අවසර ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට වග උත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා විරෝධය පළ කළ අතර මෙම කරුණට අදාළව මැයි මස 10 වනදා ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි විනිසුරු මඩුල්ල දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට නියම කළේ.
2017 වසරේ කොළඹ දී පැවැති මහජන රැස්වීමකදී මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වෛද්‍ය පාදෙණිය මහතා කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *