උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් වෙත පරිඝනක ටැබ් ලබාදීමේ වැඩපිළිවෙල තාවකාලිකව නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව නවතා දැමුණු එම ව්‍යාපෘතියට වැය කිරීමට අපේක්ෂිතවූ මුදල රුපියල් බිලියන 4 ක් වූ අතර  විශාල මුදලක් වැය කර මේ අවස්ථාවේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ ප්‍රකාශයට අනුවයි කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ.

2017 අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු එම වැඩපිළිවෙලට අනුව උසස් පෙළ සිසුන් 159,078 කට හා ගුරුවරුන් 36,070කට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අදාළ පරිඝනක ටැබ් සැපයීමට සැලසුම් කර තිබුණා.

පසුගිය සතියේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී ඊට අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක එම සතියේ කැබිනට් මාධ්‍ය හමුව අමතමින් සදහන් කළා.

මේ අවස්ථාවේදී මෙම මුදල ජනතාවට අත්‍යවශ්‍ය දෙයකට යෙදිය යුතු බව ජනාධිපතිවරයාගේ මතය වූ බවයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කළේ.

එක ටැබ් පරිඝනක යන්ත්‍රයක් රුපියල් 27,000 බැගින් වූ මිලකට සැපයීමට අවශ්‍ය කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා අවශ්‍ය සමාගම ද පසුගිය කැබිනට් මණ්ඩලයේදී තෝරාගෙන ඇති බව ප්‍රකාශ කෙරුණා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :