අගමැති ධූරයට ජනපති මතය විමසුවොත් ඒකාබද්ධයත් අධිකරණයට

අගමැති ධූරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවහොත් ඒකාබද්ධ විපක්ෂයට මැදිහත්වී කරුණු දක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
මන්ත්‍රීවරයා අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පල කළා.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු හංස සංධානය දෙකට බෙදුනා. කොල පාට නිල් පාට හංසයෝ ආණ්ඩු පක්ෂයේ වාඩි වෙන විට රතු පාට කහ පාට හංසයෝ (දෙමළ ජාතික සන්ධානය) විපක්ෂයේ වාඩි වී රටේ සියලුම තනතුරු මේ අය අතර බෙදාගත්තා. අපට අයිති විපක්ෂ නායක ධූරය වගේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයත් අපෙන් උදුරා ගත්තා. නමුත් මේ අය විපක්ෂයට වෙලා මොකද කලේ. ආණ්ඩුව රකින එකමයි කලේ. ආණ්ඩුව අර්බූදයකට යන හැම වෙලාවකම මේ අය ආණ්ඩුවට පක්ෂව ඡන්දය දුන්නා. ලෝක ඉතිහාසයේ කවර කවදාකවත් බිහිවෙලා නැහැ ආණ්ඩුවේ අයවැය ලේඛනයකට සංශෝධනයක් ඉදිරිපත්නොකර අයවැය ලේඛනයකට ගෙඩිය පිටින් සහය දුන් විපක්ෂ නායක වරයෙක්. මේ විපක්ෂ නායකවරයා පසුගිය අයවැය තුනේදීම කිසිම සංශෝධනයක් ඉදිරිපත්නොකර අයවැයට පක්ෂව ඡන්දය දුන්නා. නමුත් ජනතාව මේ පුංචි ඡන්දයේ දී නැවත වතාවක් ලංකාවේ ප්‍රධානම දේශපාලන පක්ෂය අපියි කියා සිහිපත් කර දෙනවා. නමුත් බල ලෝභි ආණ්ඩුවේ නායකයින් අපට ආණ්ඩු බලය තබා විපක්ෂ නායක ධූරයවත් දෙන්න සූදානම් නෑ.

ඊයේ වත්මන් දේශපාලන අර්බූදය පිළිබඳ විවාදයේ දී ආණ්ඩුව පත් කර ගත් විපක්ෂයේ නායකයින් මොකද කලේ? ජනපතියි අගමැතියි සමගි වී ආණ්ඩුව කර ගෙන යන මෙන් විපක්ෂ නායක ඉල්ලා සිටියා. වෙන රටවල විපක්ෂ නායකයින් ආණ්ඩුව පෙරලන්නේ කොහොමද බලනවා. මේ විපක්ෂ නායකයා ආණ්ඩුව රැක ගන්නේ කොහොමද බලනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජවිපෙ නායකයා ඊට හපන්. ජනපතියි අගමැතියි 2020 ජනපති සිහිනේ ඉන්න නිසා තමයි ගැටුම් ඇති වෙලා මෙහෙම ප්‍රතිඵලයක් ඇති වුණේ. දැන් වත් ඒ සිහින අත් හැරලා සමගිව කටයුතු කරන්න බලන්න. විපක්ෂ නායකතුමන් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමන් ගේ අරමුණ ආණ්ඩුව පැරදවීම නොව ආණ්ඩුව රැකගැනීම කියන එක ඊයේ හැන්සාඩ් වාර්ථාව බැලුවොත් ඕනෑම කෙනෙකුට පැහැදිලියි. අප තෙවසරක් තිස්සේ නගන ලද චෝදනාව ඊයේ සනාථ කල බැවින් තවදුරටත් විපක්ෂයේ තනතුරු දැරීමට ඔවුන්ට අයිතියක් නැහැ.

ආණ්ඩුව පෙරලන්න කතා කරන්නේ ඒකාබද්ධ විපක්ෂය විතරයි. ජනතාවගෙන් 46%ක් ඡන්දය දුන් විපක්ෂයේ මන්ත්‍රි ධූර 52ක් හිමි ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධූරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරු දෙකම අනිවාර්රයෙන් ලබා දිය යුතුයි කියා අපි කතානායකතුමන්ට තරයේ කියනවා.

පුංචි ඡන්දයකින් ආණ්ඩු වෙනස් වුණේ කවදා දැයි ජවිපෙ නායකතුමා ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළා. ආණ්ඩුවක් පුංචි ඡන්දයක් පරාජය වුණේ කවදාදැයි අපට පෙරලා ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ආණ්ඩුවක් පළාත් සභා, පාර්ලිමේන්තු සහ ජනපතිවරණ ඕනෑ තරම් පැරදී තිබෙනවා. ඒත් කවදාවත් පුංචි ඡන්දයක් පැරදී නෑ. ලංකා ඉතිහාසයේ 1947 සිට මේ දක්වා බලයට ආ කිසිදු ආණ්ඩුවක් පුංචි ඡන්දය පැරදී නෑ. ආණ්ඩුවක් නියත ජයක් ලබන එකම මැතිවරණය පුංච් ඡන්දයයි. සිංහල කියමනක් තියෙනවනේ යකඩ මල්ලට ගුල්ලෝ ගැසුවානම් වී මල්ල නොබලාම විසිකරන් කියලා. ආණ්ඩුවේ යකඩ මල්ල තමයි පුංචි ඡන්දය. ආණ්ඩුව ඒකත් පරාද නම් අනිත් ඡන්ද ගැන කවර කතා ද? අන්න ඒ නිසා තමයි පුංචි ඡන්දය පරාජයට පත්වු විට අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්නයි බල කරන්නේ.

සෑම ආයතනයකටම ස්වාධීන මැතිවරණයක් තිබෙනවා, ඒ ඒ ආයතනයේ බල හුවමාරුව වෙන්නේ ඒ ආයතනයට අදාළ මැතිවරණයේ දී පමණයි කියා ජවිපෙ නායකතුමා සුපුරුදු පරිදි පාර්ලිමේන්තුවේ අගමැතිතුමන්ව රැකගැනීම සදහා කතා කරමින් කියනවා. පුංචි ඡන්දයෙන් අගමැති මාරු කරන්න බැරි නම් 2015 ජනවාරියේ දී ජනපතිවරණයෙන් ජනපති මාරු කිරීමෙන් නොනැවති අගමැති ඇතුළු ඇමති මණ්ඩලය මාරු කලේ කොහොමද කියා අපි අනුර කුමාර මැතිතුමාගෙන් ප්‍රශ්න කරනවා. එතුමාගේ ලොක්කාට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැතිකම ලැබෙන විට වෙනත් ඡන්දයකින් අගමැති මාරු කිරීම හොඳයි. එතුමාගේ ලොක්කාට අගමැතිකම අහිමි වෙන විට වෙනත් ඡන්දයකින් අගමැති මාරු කිරීම නරකයි. ඕකයි දැන් ජවිපෙ න්‍යාය.

(2018 පෙබරවාරි 20 දින පැවැති පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්
මෙම මාධ්‍ය හමුව සදහා පක්ෂයේ සංස්කෘතික කටයුතු ලේකම් උපුල් කෝණාර මහතා සහ කොළඹ දිසා සංවිධායක කඩුවෙල නාගරික මන්ත්‍රි ශිරන්ත ජයලත් යන මහත්වරුන්ද එක් විය.)

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :