පන්සලේ දායක පිරිස නිසා වැරැදුණු බළපිටිය සල්ලි කොල්ලය

“අපි පොලිසියෙන්. මෙන්න අපේ අයිඩෙන්ටිය. අපි අහවල් ඩී.අයි.ජී.ගේ විශේෂ ඒකකයේ. හාමුදුරුවෝ කුඩු විකුණනවා කියලා පැමිණිලි තිබෙනවා. බෝට්ටු තිබෙනවා කියලා පැමිණිලි තිබෙනවා. අපට අවශ්‍යයි හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කරන්න.”

බළපිටිය, පාතෙගම යෝගාශ්‍රම විහාරස්ථානයට ඉකුත් දාහත් වැනි දින ඇතුළු වූ කොල්ලකරුවෝ පිරිසක් විහාරාධිපති අමරපුර නිකායේ මූලවංශික පාර්ශ්වයේ ගාලු දිසාවේ අධිකරණ සංඝනායක බළපිටිය උතුර ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි දර්ශනපති බ්‍රාහ්මණවත්තේ විමලවාස තිස්ස හිමියන්ට පොලිස් හැදුනුම්පතක් පෙන්වමින් කියා සිටියහ.

පෙන්වූ හැදුනුම්පත් පොලිස් හැදුනුම්පත් නිසාත් පිරිස හැඩිදැඩි පිරිසක් වූ නිසාත්   පොලිස් නිලධාරීන් යැයි හිමියෝ විශ්වාස කළහ.

“මහත්තයෝ මේ පිරිසක් ඇවිත් ඉන්නවා. ඔබලාගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න නම් මේ කරපු වැඩේ ඉවර වෙනකම් ඉන්න.”

හාමුදුරුවෝ ඉල්ලීමක් කර සිටියහ. ඔවුහු මඳක් පසුපසට වන්නට වූහ.

පැමිණ සිටි පිරිසට හඳහන් විස්තර කියාදී ඉවර වූ සැණින් යළිත් ඔවුහු විමලවාස හිමියන් ළඟට ගියහ.

“හාමුදුරුවනේ අපි සියලු තොරතුරු දැනගෙනයි ආවේ. හාමුදුරුවෝ කුඩු බිස්නස් කරනවා. බෝට්ටු තිබෙනවා. අපිට බොරු කරන්න ලෑස්ති වෙන්න එපා. හාමුදුරුවන්ට කෝටි ගණන් සල්ලි කොහෙන්ද?”

“මට කෝටි ගණන් සල්ලි නැහැ. කවුද ඔය බොරු කිව්වේ?”

“උඹේ ඔය බයිලාවලින් අපට වැඩක් නැහැ”

“මට හිතවත් නැති කෙනෙක් හමුවුණොත් මගේ නැති වැරදිත් මහත්තයලාට කියාවි. හිතවත් කෙනෙක් නම් හොඳ කියාවි”

“උඹේ ඔය කයිය වැඩක් නැහැ. නිතරම සාක්කුවේ කෝටියක් විතර තියෙනවා කියලයි දැනගන්න ලැබුණේ. වහාම දැන්ම අපට ලක්ෂ දහයක් ඕනෑ. නැත්නම් අපට සිද්ධ වෙනවා අරගෙන යන්න.”

පැමිණි පිරිස සිවිල් ඇදුමෙන් සැරසී සිටීමත් ඔවුන් සියලුදෙනාම අධික ලෙස මත්පැන් පානය කර සිටීමත් ගැන විමලවාස හිමියන්ට බියක් දැනිණි. පන්සලේ සිටින පිරිසට හිරිහැරයක් කරාවිද යන බියද ඒ සමඟ ඇති විය. එමෙන්ම පැමිණි හයදෙනා උළුවස්ස ළඟ සිටගෙන විමලවාස හිමියන් දක්වා දුරින් දුර සිටියහ. පන්සලේ සිටි පිරිසට සහ හඳහන බලවා ගැනීමට පැමිණ සිටි පිරිසට මොවුන් ගැන සැකයක් ඇති විය. පන්සලේ සිටින පිරිස නිවෙස්වලට දන්වා සිටියේ හාමුදුරුවන්ට කරදරයක් ඉක්මනට එන්න කියලයි.

පිටත සිදුවෙන කිසිවක් ඇතුළේ සිටි අයවත් ඇතුළේ වෙන කිසිම දෙයක් පිටත සිටින අයටවත් දැනගන්නට නොහැකි විය. ඇතුළට කිසිවකුට එන්න බැරි විධියට අහුරාගෙන සිටියහ.

“කෝ දියං අපට සල්ලි. ඉක්මන් කරපන්.”

“මං ළඟ තඹ ‍ෙදායිතුවක්වත් නැහැ. මෙන්න මගේ සාක්කු” හාමුදුරුවෝ පෙන්වමින් කියා සිටියහ.

“උඹ ළඟ දැන් නැතිවුණාට අල්මාරියේ තියෙනවා. ඒවගෙන් අරගෙන දීපං.”

කිසි ගරුසරුවක් නොමැතිව ඔවුහු තර්ජනාත්මකව කියා සිටින්නට වූහ.

“කවුරු හරි බොරුවක් කියලයි තියෙන්නේ.”

“නැහැ නැහැ බොරු නොවෙයි. ඉක්මන් කරපන්. හ්ම් යමං කාමරේට. නැඟිටපන්.”

විමලවාස හිමියන්ගේ මානසික තත්ත්වය බින්දුවටම වැටී තිබිණි. කොහේ තිබෙන හෙණ ගෙඩියක් පාත් වුණා දැයි සිතිවිලි දහසක් ගලා එන්නට විය. මට කරදරයක් කළත් මගේ අහිංසක කොල්ලෝ ටිකට කරදරයක් නොකළොත් ඇතැයි විමලවාස හිමියෝ සිතූහ. හිමියන්ට වාඩි වී සිටි අසුනෙන් නැඟිට ගැනීමටවත් පණ කඳක් නොවීය. කොල්ලකරුවන්ගේ බලපෑම මතම හාමුදුරුවෝ කාමරයට ගොස් බැංකු පොත ගෙන ඇත්ත තත්ත්වය පෙන්වන්නට වූහ.

“එහෙනම් අපට ලක්ෂ එකහමාරක් දියං. නැත්නම් උඹට අපෙන් අද ගැලවීමක් නැහැ.”

“මං අතේ දැන් සල්ලි නැහැ. අහුන්ගල්ලේ පෙට්කාඩ් මැෂින් එක ළඟට ගියොත් කාඩ්  එකෙන් අරගෙන දෙන්න පුළුවන්.”

හාමුදුරුවන්ට කාමරයෙන් එළියට එන්න වුවමනාව තිබිණි. හාමුදුරුවන්ගේ ඉල්ලීමට එකඟවන්නට හොරු රැළට සිදුවිය.

“එහෙනම් ගනිං කාඩ් එක. යමං අපිත් එක්ක.”

හාමුදුරුවන් එළියට පැමිණෙන විට පන්සලේ සිටි පිරිස රොක් වී සිටියහ.

“අපේ වාහනයෙන් යන්න පුළුවන්. ඒකට නැඟපන්.”

“මට බැහැ ඔයගොල්ලන්ගෙ වාහනේ එන්න. මම ත්‍රීවීල් එකේ එන්නම්.”

“බැහැ බැහැ අපේ හාමුදුරුවෝ ගෙනියන්න දෙන්න බැහැ” පන්සලේ සිටි පිරිස එකහ¾ඩින් කියන්නට වූහ.

ඒ වනවිටත් දැනුම්දීම අනුව ඥාතීහු කිහිපදෙනෙක්ම පැමිණ සිටියහ. පිරිස දැකීමෙන් හාමුදුරුවන්ගේ සිතට සහනයක් දැනිණි. එමෙන්ම බියක්ද ඇතිවූයේ තමා නිසා ගමේ පිරිසට කරදරයක් ඇතිවේවි යැයි සිතූ නිසාය.

පිරිසගේ හඬ බලවත් වූ හෙයින් එයට කන්දීමට කොල්ලකරුවන්ට සිදුවිය.

“ඔය අය කලබල වෙන්න එපා. මම යන්නේ මගේ ත්‍රීවීල් එකේ.”

“හා හොඳයි ඔහොම යමු” කරකියා ගතහැකි දෙයක් නොවූ තැන කොල්ලකරුවෝ කීහ.

හාමුදුරුවන්ගේ ත්‍රීවීල් එකට පෙර කොල්ලකරුවන්ගේ වාහනයක් ඉස්සර වූ අතර පසුපසින් ද ඒ අයගේ වාහනයක් විය.

පන්සලේ සිටි අය සහ ගමේ අය මෝටර් බයිසිකල්වලින් සහ වාහනවලින් එක රොත්තට එන්නට වූහ. ටික දුරක් යනවිට එන පොට හොඳ නැති බව දැනගත් පිරිස හාමුදුරුවන්ට දුරකථන ඇමතුමක් දී වහාම ත්‍රීවීල් එක නතර කරන ලෙස දැනුම් දුන්නේය.

ත්‍රීවීල් එක නතර කළ සැණින් කොල්ලකරුවන් පිරිස නොනවත්වා ඉදිරියට ගියහ. ඒ යන අතරතුරේදී නැවතත් හාමුදුරුවන්ට දුරකථන ඇමතුමක් දී ප්‍රකාශ කළේ “සල්ලි අරන් තියාපං. අපි නැවතත් එනවා” කියලයි.

මේ වනවිට අහුන්ගල්ල පොලිසියට මෙම සිද්ධිය සැලවී ඔවුහුද පැමිණෙමින් සිටියහ. අතරමඟදී හමු වූ විට සියලු විස්තර විමලවාස හිමියන්ගෙන් විමසා පොලිසිය වහා ක්‍රියාත්මක විය. හාමුදුරුවන්ට දුන් ඇමතුම් දෙකේ අංක දත්ත විශ්ලේෂණයක් මඟින් සිද්ධිය සිදුවී පැය අටක් යන්න මත්තෙන් කොල්ලකරුවන් අල්ලා ගැනීමට පොලිසිය සමත් විය.

දර්ශනපති බ්‍රාහ්මණවත්ත විමලවාස හිමියෝ 2011 පෙබරවාරි මස 23 වැනි දින බළපිටිය පාතෙගම යෝගාශ්‍රම විහාරස්ථානය ආරම්භ කරනු ලැබුවේ භාවනානුයෝගීව ආගමික වතාවත් කටයුතු කරලීමටය. 2012 ඔක්තෝබර් මස 29 වැනි දිනට යෙදුණු වප් පුර පසළොස්වක පොහෝ දින රෝපණය කරනු ලැබූ බෝධීන් වහන්සේගෙන් හටගත් තවත් අංකුර හතක් හේතුවෙන් අෂ්ටඵල බෝධියක් නිර්මාණය වී ඇත්තේ හාස්කමට මෙනි.

හඳහන් බලා ඒවාට කළයුතු වත්පිළිවෙත් කියාදීම ආරම්භ කරනු ලැබුවේ දුකට පත් ජනතාවට සෙත ශාන්තිය උදාකරලීමේ පරම පවිත්‍ර චේතනාවෙනි. මේ නිසාම දස දෙසින් ජනයා පැමිණියේ විහාරස්ථානයෙන් පිහිට ලැබූ නිසාමය. එසේ පැමිණි අයගේ අරමුණ ඉටුවීමෙන් සතුටට පත්ව විහාරස්ථානය අංගසම්පූර්ණ කරලීමට ඔවුන් ඉදිරිපත්වූයේ වාස හිමියන්ගේ ඉල්ලීමකින් තොරවය. මේ හිමියන්ට ගෞරව වශයෙන් කවුරුත් හ¾දුන්වන්නට වූයේ ‘වාස හාමුදුරුවෝ’ යන කෙටි ආදර නාමයෙනි.

ගතවූ වසර දහය කාලය තුළ විහාරස්ථානය අංගසම්පූර්ණ විය. විහාරස්ථානයට දිවා රෑ නොබලා පැමිණෙන අයගෙන්ද අඩුවක් නොවීය. මේ කොල්ලකරුවන් පිරිස පැමිණෙනවිටත් පිරිසක් පැමිණ සිටියේ වාස හිමියන් ලවා හඳහන් බලවා ගැනීමටය.

දර්ශනපති බ්‍රාහ්මණවත්තේ විමලවාස තිස්ස හිමියන්ගෙන් මේ සිද්ධියට මුහුණපෑම ගැන විමසූවිට මෙසේ පැවැසූහ.

“මම ආචාර්ය උපාධිය කරලා තිබෙන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ. කථිකාචාර්ය ධුරයෙන් පවා අස්වුණේ සාමණේර භික්ෂු පුහුණු ආයතනයක් ලෙසින් පවත්වාගෙන ගොස් අනාගතයට සිල්වත් භික්ෂුන් වහන්සේ පිරිසක් බිහිකිරීමටයි.

මම බළපිටිය උතුර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි. ගතවූ කාලය තුළ තරග විභාග පවත්වලා දක්ෂතම දහම් පාසල් සිසුවාට පළමු තෑග්ග රුපියල් පනස්දහසකුත් දෙවැනියාට විසිපන්දහසකුත් තුන්වැනියාට පහළොස්දහසකුත් දුන්නා. අනෙක් දක්ෂයන්ටත් ඒ වගේම තෑගි දුන්නා. මේ සියලු තෑගි දුන්නේ මගේ අතින් නොවෙයි. මැණික් මුදලාලිලා උදවු කළේ. මේ පසුගිය පෙබරවාරි 23 වැනිදා පැවැති නිලවරණයේදීත් මම බළපිටිය උතුර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් පදවියට නැවත පත්කර ගත්තා.

හැමෝම අහනවා මට මෙච්චර සල්ලි කොහෙන්ද කියලා. අද සමාජයේ සිරිතක් තමයි කාගෙ හරි අතේ සල්ලි ටිකක් තියෙනවා නම් ගෙයක් හදනවා නම් වාහනයක් ගත්තා නම් කියන්නේ කුඩු විකුණනවා කියලයි. ඒ මිනිහා විතරයි දන්නේ බැංකුවලට ණය වෙලා කරන හැටි. මටත් ඔය චෝදනාව ආවා. මට බෝට්ටු තියෙනවා කියලා කියනවා. මේ දිනපොතේ තියෙන්නේ මට මුදලින් උදවු කළ අය. මේ පන්සල හැදුවේ මම කිසි කෙනකුගෙන් සතයක්වත් ඉල්ලලා නොවෙයි. මේ පන්සල බලන්න ඇවිත් පැහැදුණු අය මට උදවු කරනවා. මම මේ සිද්ධිය ගැන කනගාටු වෙනවා. පන්සලේ තිබෙන අෂ්ටඵල බෝධීන් වහන්සේගේ අනුහසින් තමයි මට කිසි කරදරයක් නොවී අපරාධකරුවන් පැය අටක් යන්න මත්තෙන් අසු වුණේ.

මම මේ අය හ¾දුනගන්න උත්සාහ කරන්නේ නැහැ. එහෙම වුණාම මේ අයගේ දූ දරුවන්ගේ අනාගතයයි අ¾දුරු වන්නේ. එවිට ඒ අය වැරැදි වැඩවලට යොමු වෙනවා වැඩියි. ආපු අය මට හොඳට හ¾දුනගන්න පුළුවන්. හඬ පට තියෙනවා. සී.සී.ටී.වී. දර්ශන පොලිසිය අරගෙන තිබෙන්නේ. මම මෙහෙම කිව්වම ඒ අය කියාවි අපි බොරුවක් ගොතලා බොරු නඩුවකට පැටලුවා කියලා. චීවරයක් දමාගෙන තවත් කෙනකුට දඬුවම් දෙන්න, උසාවි යන්න මම කැමැති නැහැ. මේ අය අධිකරණයෙන් නිදහස් වුණත් ස්වභාවධර්මයෙන් මේ අයට ගැලවෙන්න බැහැ. අපරාධයක් කළාම අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙනවා. අපි එතෙක් ඉවසනවා.

මේ අය අනුන්ට ගින්දර දීලා සල්ලි සොයාගෙන ගිහින් දරුවන්ට කන්න දෙන්නේ. ඒ අහිංසක දරුවෝ කන්නේ අනුන්ගේ ගින්දර. එහෙම වුණාම මේ පාපය දරුවන්ටත් විඳින්න වෙනවා. දරුවෝ වැදුවට හදාගන්න බැරි නම් මට දෙන්න. අපේ දායකයෝ කන්න දේවි. මම හොඳට උගන්නලා යහපත් මිනිස්සු හැටියට වයස අවුරුදු විස්ස, විසිපහ වුණාම නැවත මවුපියන්ටම භාර දෙන්නම්.

සාමය රකින්න තිබෙන පොලිසියට මේක මහත් කැළැලක්. මේ වගේ නිලධාරීන් සිටීම ගැන දේශබන්දු තෙන්නකෝන් මහත්තයා කියන්නෙත් රට පිළිගත් උසස් නිලධාරියෙක්. ඒ වගේම මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහත්තයා. පොලිසියට ගරු නම්බු අරන් දීපු නිලධාරීන්ගේ නම් විකුණලා මේ වගේ වැඩ කිරීමෙන් පොලිසියම බාල්දු වෙනවා. ඒ වගේම හබරාදුව ප්‍රදේශීය සභා මන්ත්‍රිවරයෙක් හවුල්වීම ගැන තවත් කනගාටු වෙනවා. ජනාධිපතිතුමා වංචාව, හොරකම, දූෂණය නැති කරලා රට හදන්න හදනවිට මේ වගේ කරන මෙවැනි වැඩවලින් රජය අපකීර්තියට පත්වෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා.”

අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. ජයතිලක මහතා පවසා සිටියේ මේ අයුරින්ය.

“අපට සිද්ධිය ආරංචි වූ සැණින් ක්‍රියාත්මක වුණා. අපි යනවිට හාමුදුරුවෝ පන්සලට වඩින ගමන් සිටියේ. තොරතුරු අනුව ගිහින් අපරාධකාරයෝ හය දෙනාම බළපිටියේ, හීනටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්න හැකිවුණා. තව සැකකරුවෙක් අල්ලගන්න තිබෙනවා. ඒ අයටත් ගැලවෙන්න දෙන්නේ නැහැ. අත්අඩංගුවට ගත් අය අතරේ නොර්ටන්බි්‍රජ් පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති තේන්පත් වඩුගේ සංජීව සමන් කුමාර, හබරාදුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රි ළංහේවගේ නුවන් පද්මජිත්, පහළගම බැද්දගම ලක්ෂාන් ප්‍රභාත් සෙනෙවිරත්න හෙට්ටිආරච්චි, ආනන්ද බණ්ඩා, මාරකෝන්, හේරත් මුදියන්සෙලාගේ ජීවන් බණ්ඩාර, සිටිනාමළුව පරණ පල්ලියගුරුගේ ජගත් විශ්මන්ත යන අය ඉන්නවා. අපරාධ අංශයේ ස්ථානාධිපති රශින්ත පියරත්න, පොලිස් කොස්තාපල් බණ්ඩාර (93628), වසන්ත (72586) යන පිරිස තවදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යනවා” යැයිද කීය.

 

අහුන්ගල්ල _ ඒ. සිවනෙත්ති

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *