නෙදර්ලන්ත හිමිගේ මරණය ගැන රස පරීක්ෂක වාර්තාවේ හෙළිදරව්වක්

Sri Lanka

රත්ගම කළපුවේ පාවෙමින් තිබියදී සොයාගත් රත්ගම, කටුදම්පේ, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩ විසූ නෙදර්ලන්ත ජාතික ජිනරතන හිමියන්ගේ අපවත් වීම සියදිවි නසා ගැනීමක් බවට සැක කළ හැකි තොරතුරු මේ වනවිට ලැබෙමින් පවතින බව පොලිසිය කියයි.

ඊට හේතුව වී ඇත්තේ රසපරීක්ෂකවරයා විසින් ලබාදුන් එක් වාර්තාවක ඒ හා සමාන තොරතුරු ලැබී තිබීමය.

ජිනරතන හිමියන්ගේ සිරුර සොයාගත් අවස්ථාවේ උන්වහන්සේගේ දෙපා ගල්වලින් ගැට ගසා තිබිණි. ඒ ලණු කැරලි උපයෝගී කර ගනිමිනි.

එහිදී බොහෝ අය පැවැසුවේ කිසිවකු හෝ කණ්ඩායමක් විසින් උන්වහන්සේ ඝාතනය කොට දෙපාවල ගල් ගැට ගසා කළපුවට දමන්නට ඇති බවය. එක් පාදයක ගලක් ගැලවී තිබූ අතර පාදයේ එම ගල ගැට ගැසූ ලණු කැරලි කොටස් එසේම තිබිණි.

මේ පිළිබඳ විමර්ශන පවත්වන කණ්ඩායම මෙම ගල් ගැට ගැසූ ලණු කිසිවකු විසින් ගැටගසා ඇත්තේද නැතහොත් උන්වහන්සේ විසින් ගැටගසා ගෙන දිවි හානි කරගෙන ඇත්දැයි සෙවීමට එම ගැට සහිත ලණු කැබලි රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලදී. ඒ උන්වහන්සේ පරිහරණය කළ කුටියේ ඇති තවත් එවන් ගැට සහිත ලණු හා වයර් කොටස්ද සමඟය.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක යෙදුණු රජයේ රස පරීක්ෂකවරයා මෙහිදී නිගමනය කර ඇත්තේ ජලයේ පාවෙමින් තිබියදී උන්වහන්සේගේ දෙපාවල ගැට ගසා තිබූ ලණුවල ඇති ගැට උන්වහන්සේගේ කුටියේ තිබී සොයාගත් වෙනත් ලණුවල ගැටවලටද සමාන බවය.

ඒ අනුව එම සියලුම ගැට උන්වහන්සේ විසින් කරන ලද ගැට ගැසීම් බවට රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වන බවත් රත්ගම පොලිසියේ ප්‍රධානියෙක් මේ සම්බන්ධව කළ විමසීමකදී කීවේය.

මේ අතර උන්වහන්සේ නියත වශයෙන්ම දිවිනසාගෙන ඇද්දැයි තහවුරු කරලීම සඳහා රස පරීක්ෂකවරයා විසින් නිකුත් කරන තවත් වාර්තාවක් ලැබිය යුතු බව දකුණු පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ද සිල්වා මහතාද පැවැසීය. එම වාර්තාව ලැබීමෙන් පසු උන්වහන්සේගේ මරණය කෙසේ සිදුවී ඇත්දැයි නිශ්චිතවම ප්‍රකාශ කළ හැකි බවද ඒ මහතා සඳහන් කළේය. උන්වහන්සේ වසක් විසක් කැවී මියගියේද යන්න දැනගැනීම සඳහා සිදුකරන විමර්ශනයේ රස පරීක්ෂක වාර්තාව තව නොබෝ දිනකින් ලැබීමට නියමිතය.

කීර්ති මෙන්ඩිස්

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *