හිරුණිකාට මහාධිකරණය දුන් වරෙන්තු නියෝගය ආපසු කැඳවයි..

Sri Lanka

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රමාදයක් හේතුවෙන් අද කොළඹ මහාධිකරණය ඇයට වරෙන්තු නිකුත් කර තිබෙනවා.

එහෙත් ඇය මද වේලාවකින් පැමිණි නිසා එම නියෝගය ආපසු කැඳවීමට විනිසුරුවරයා නියෝග කරණු ලැබුවා.

2015 වසරේ තරුණයෙකු පැහැරගෙන සිරකර තැබීම සම්බන්ධයෙන් විභාග වන නඩුව අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේ විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

ඒ අනුව ඇය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මහාධිකරණ විනිසුරුවරයා වරෙන්තු නිකුත් කළා.

එහෙත් එම නියෝගය ප්‍රකාශයට පත් වී මද වේලාවකින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට පැමිණ තිබුණේ, සිය නීතිඥවරිය මාර්ගයෙනුයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, මාස එක හමාරක් වයසැති බිළිඳෙකු සිටින තම සේවාදායිකාව අද පෙරවරුවේ අධිකරණ භූමියට පැමිණ රැඳී සිටි බවයි.

එහෙත් නිසි වේලාවට අධිකරණ ශාලාවට ඇතුළුවීමට නොහැකි වීම හේතුවෙන් එම තත්ත්වය උද්ගත වූ බවත් ඒ සම්බන්ධයෙන් සමාව අයදින බවත් කී නීතිඥවරිය මින්පසු නිසි වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටින බවටත් සහතික වී තිබෙනවා.

ඒ අනුව විත්තිකාරිය වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා ඇය පෙර ඇප මත මුදාහැරීමට නියම කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *