වසරක් තුල ෆේස් බුක් හිංසන 14,000 ක් ගැන පැමිණිලි / වසරකදී 700% ක වර්ධනයක්

පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ෆේස්බුක් දමන බවට බිය ගන්වා පෙම්වතියගේ පියාගේ ගිණුමෙන් මුදල් ලබාගත් සිදුවීමක් වාර්තා වූයේ මීට දින කීපයකට පෙර ය. කොළඹ ප්‍රසිද්ධ කාන්තා විදුහලක ඉගෙනුම ලබන මෙම පෙම්වතිය 15 හැවිරිදි සිසුවියකි. ඇගේ පන්තියේ මිතුරියක් මෙම සිසුවියට ෆේස්බුක් ඔස්සේ පෙම්වතකු සොයා දී ඇත්තේ මිතුරියට ද පෙම්වතකු සිටින බව පවසමිනි. පෙම්වතා ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 15 හැවිරිදි සිසුවකු බව පෙම්වතියට පවසා තිබේ. ඔවුන් දෙදෙනා ෆේස්බුක් ඔස්සේ ‘චැට්’ කරන අතරවාරයේදී ඇය නොමැති විටෙක දැක බලා ගැනීමට ඇගේ නිරුවත් ඡායාරූප කීපයක් එවන ලෙස පෙම්වතා, පෙම්වතියට දන්වා ඇත. 15 හැවිරිදි පෙම්වතිය එය යවා තිබෙන්නේ පෙම්වතා කෙරෙහි පූර්ණ විශ්වාසය තබමිනි.

පෙම්වතිය කෝටිපති ව්‍යාපාරිකයකුගේ දියණියක් බව කතාබහේදී අනාවරණය කරගත් පෙම්වතා, පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ෆේස්බුක් දමන බවට බිය ගන්වා පියාගේ ක්‍රෙඩිට් කාඩ්පතේ ඡායාරූපයක් එවන ලෙස ඇයට පවසා ඇත. ඉන් අනතුරුව ඇය එම ඉල්ලීම ඉටු කර තිබෙන්නේ නිරුවත් ඡායාරූප මුදා හරීවි යන බියටය. පියාගේ ගිණුමෙන් ශීඝ්‍රයෙන් මුදල් අඩුවන විට ඔහු බැංකුවෙන් විමසූ විට දන්වා ඇත්තේ එක්තරා සැටලයිට් රූපවාහිනී නාළිකාවක ක්‍රීඩාවක් වෙනුවෙන් දිනකට රු. 10,000/= ක් ගිණුමෙන් බැර වන බව ය. ඒ ඔස්සේ විමර්ශනය කිරීමේදී දියණියගේ 15 හැවිරිදි පෙම්වතා සොයා ගැනීමට හැකි විය.

මෙම පෙම්වතා ගම්පහ පාසලක සිසුවකු නොව දුර පළාතක සිසුවකු බවත් ෆේස්බුක් හරහා ක්‍රීඩා කිරීමට තදින් ඇබ්බැහි වී සිටින අයකු බවත් අනාවරණය වී ඇත. මෙහි ඇති අනෙක් ඛේදනීය කරුණ වන්නේ පෙම්වතාගේ පියා ඉතා දුප්පත් අයකු වන අතර ඔහු සිය පුත්‍රයාට ජංගම දුරකතනයක් මිලදී ගෙන තිබෙන්නේ ‘ඔන් – ලයින්’ ක්‍රමයට ඉගෙන ගැනීමට වීමයි.

“අන්තර්ජාලය නිසා සිදුවෙන අපරාධ අද වනවිට ඉහළ ගිහින් තිබෙනවා. ඒ නිසා පරිගණක ඇසු‍රින් සිදුවන අපරාධ ගැන විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා පොලිසියේ වෙනම අංශයක් ස්ථාපිත කර තිබෙනවා. අසභ්‍ය ඡායාරූප වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරලා කෙ‍නකු අපහසුතාවට පත් කරනවා නම් ඊට භාජනයවූ තැනැත්තා හෝ තැනැත්තියට පුළුවන් පොලිසියට පැමිණිලි කරන්න. ඊට පස්සේ අපි ඒ ගැන විමර්ශනය කරලා සයිබර් සාක්ෂි ගබඩා කරගෙන නීති මඟින් කටයුතු කරනවා. සමහර වෙලාවට නම් අන්තර්ජාලයට ඡායාරූප එකතු කරන පුද්ගලයන්ව කොටු කරගන්න පුළුවන් වුණත් සමහර වෙලාවට ඒ අය ව්‍යාජ ගිණුම්වලින් යන නිසා හොයාගන්න අමාරු වෙනවා. එවිට අපි පරිගණක තාක්ෂණික සහාය ලබා ගන්නවා. අන්තර්ජාලය නිසා රැවටීම්වලට වැඩිපුර අහුවෙන්නේ කාන්තාවන්. මුහුණුපොත නිසා තමයි ගොඩාක් දෙනා වංචාවලට අහුවෙන්නේ. සමහරු විදේශීය රටවල්වල ඉහළ වෘත්තිකයන් ලෙස පෙනී සිටිනවා. ව්‍යාජ ඡායාරූප යොදනවා‍. ඒ අය කාන්තාවන් නතු කර ගැනීමේ, පිනවීමේ ක්‍රම දන්නවා. කාන්තාවන් ඔවුන්ගේ උගුලට අහුවෙනවා. මුහුණුපොතෙන් හඳුනාගත් කෙනා එයාගේ හොඳම යාළුවා කරගෙන සියලු දේ වමාරනවා. ඊට පස්සේ ඒ කියපු තොරතුරු ප්‍රසිද්ධ කරනවා කියලා එක්කෝ මුදල් කඩා ගන්නවා‍. එක්කෝ කොහාට හරි ගෙන්වා ගන්නවා. තවත් අය කාන්තාවන්ට කියනවා එක එක විදිහට ෆොටෝ අරං එවන්න කියලා. කාන්තාවනුත් මේ අයට අහුවෙලානේ ඉන්නේ. විශ්වාස කරගෙන යවනවා. එයාලා දන්නේ නැහැ එයාලාගේ ඡායාරූප එක එක වෙබ් අඩවිවලට මුදා හැරලා එයාලා විශ්වාසය තියාගෙන හිටපු අය මුදල් හම්බ කරන බව.” යනුවෙන් දීර්ඝ වශයෙන් විස්තර කළේ අපරාධ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ය.

ඔහු පවසන ආකාරයට මුහුණුපොතේ උගුල්වලට අසුවන අය අතර ආච්චිලා ද සිටිති. ඔවුන් වැඩිපුරම අසුවී තිබෙන්නේ මූල්‍ය වංචාවලට ය. අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිල දී ගැනීම්, මුහුණුපොතෙන් හඳුනාගත් අයගේ ගිණුම්වලට මුදල් දැමීම් වැනි වංචාවලට ඔවුහු ගොදුරු වී සිටිති. අන්තර්ජාලය ඔස්සේ වුවත් සිදු කෙරෙන වංචාව අයත් වන්නේ අපරාධ ගණයට ය. පොලිස් විමර්ශන ක්‍රියාත්මක කෙරෙන්නේ එම නිසා ය.

“සමාජ මාධ්‍ය ජාල කියන්නේ නරක දෙයක් නොවෙයි. ඒ හරහා සිදුවෙන යහපත් වැඩ, සමාජ සත්කාර ඕනෑ තරම් තිබෙනවා. ගොඩාක් දෙනා වංචාවලට අහුවෙන්නේ සමාජ මාධ්‍ය භාවිතය නොදන්නා නිසා. මුහුණු පොතේ ගිණුමක් සකස් කරන විට පොදු නොවන විදිහට, පෞද්ගලිකත්වය ආරක්ෂා වන විදිහට සකස් කරන්න පුළුවන්. ඒ විධිවිධාන නිවැරැදිව අනුගමනය කරනවා නම් ගිණුමේ ආරක්ෂාව තිබෙනවා. සමහරු රැකියා ආයතනවල සයිබර් කැෆේවල ෆේස්බුක්වලට ලොග් වෙනවා. හැබැයි ලොග් අවුට් වෙන්න මතක නැහැ. ඒ වගේම තමයි ෆේස්බුක් පාස්වර්ඩ් එක සුරක්ෂිත කරගන්නේ නැහැ. කෙනෙකුට අනුමාන කරන්න බැරි විදිහට පාස්වර්ඩ් එක සකස් කරගැනීමත් ඉතා වැදගත්.” යනුවෙන් සඳහන් කරමින් සාකච්ඡාවට පිවිසියේ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ, තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ලය.

පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ කාර්ය භාරය වන්නේ (Computer Emergency Readiness Team) සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුවන අයහපත් සිද්ධි පිළිබඳ වාර්තා කළ විට ඊට ප්‍රතිචාර දැක්වීමයි. සමාජ මාධ්‍ය ආශ්‍රයෙන් පමණක් මෙම ආයතනයට 2019 වසරේ ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 2662 කි. එහෙත් 2020 වසරේ පැමිණිලි 14,284 ක් ලැබීමෙන් සමාජ මාධ්‍ය අවභාවිතවීමේ වර්ධනය පැහැදිලි වනු ඇත.

“අපිට කවුරු හරි කෙනෙක් වාර්තා කළොත් ඒ කෙනාට හානිදායක විදිහෙ ඡායාරූපයක් හෝ වීඩියෝවක් සමාජ මාධ්‍යයට එකතු කරලා තියෙනවා කියලා අපි ඒ ගැන විමර්ශනය කරලා ෆේස්බුක් ආයතනයට දැනුම් දෙනවා. එය ඉවත් කරන්න කියලා. එතකොට එය අයින් කරනවා. සමහර වෙලාවට එක පාරට අයින් නොකරන වෙලාවලුත් තිබෙනවා. අපි හිතමු පෙම්වතායි පෙම්වතියයි තරහ වුණාට පස්සේ අපිට කියනවා ඒ දෙදෙනා ඉන්න ඡායාරූප ඉවත් කරලා දෙන්න කියලා. ඒත් ඒ දෙදෙනා ඉන්නේ සමූහ ඡායාරූපයක නම් සමහර වෙලාවට ෆේස්බුක් ආයතනයෙන් එය ඉවත් කරන්නේ නැහැ. එතකොට අපි නැවත නැවතත් එය ඉවත් කරන්න කියලා දැනුම් දෙනවා.

අපි යමක් ෆේස්බුක් එකෙන් හෝ අන්තර්ජාලයෙන් ඉවත් කළාම එය පෙනෙන්නේ නැති බව ඇත්ත. ඒත් කෙනකු එය බාගත (download) කරලා ති‍බුණොත් අපිට කරන්න දෙයක් නැහැ. ඒ නිසා තමයි නොදන්නා අය සමඟ මිත්‍රත්වය පැවැත්වීමේදී පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම, තමුන්ට අදාළ දෙයක් එකතු කරන විට එය පළමුව තමුන්ට පමණක් පෙනෙන විදිහට සකස් කරගැනීම වැනි තාක්ෂණික උපක්‍රම අනුගමනය කරන්න කියලා උපදෙස් දෙන්නේ.” යනුවෙන් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (Cert) තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල පැවසීය.

ඕනෑම කෙනකු අපහසුතාවට පත්වන ආකාරයේ දෙයක් සමාජ මාධ්‍ය ජාලාවක සංසරණය වේ නම් ප්‍රථමයෙන්ම එකී සබැඳිය (link) ගැනීමත් ඡායාරූපයක හෝ සංවාදයක ඡායාරූප (Screen Shot) ගැනීමත් ඉතා වැදගත් බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ නීති මගින් කටයුතු කිරීමේදී එය සාක්ෂියක් වන නිසා ය. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ විට අගතියට පත් වන්නේ කාන්තාවන්ය‍. කාන්තාවන් බ්ලැක්මේල් කරන අයට දැඩි දඬුවම් පමුණුවන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර දකුණු පළාතේ පැවැති උත්සවයකදී අවධාරණය කළේ එබැවිනි. මෙහිදී ඇතැමුන් අගතියට පත්වන්නේ නොදන්නා අය සමඟ හාදකම් පැවැත්වීමට යෑමෙනි. තවත් අය අපහසුතාවට පත්වන්නේ තමා දන්නා හඳුනන, කාලයක් ආදරය කළ අයගේ ප්‍රේමය වෛරය බවට පෙරළීමෙනි. ප්‍රේම වියෝවක් සිදුවූ විට හුවමාරු වූ ලිපි, ඔවුන්ගේ ඡායාරූප විවිධ පාර්ශ්වයන්ට තැපැල් කර යවා අපහසුතාවට පත් කළ අවස්ථා අතීතයේ පවා තිබිණි. ඊට අමතරව එදා දවසේ පුද්ගලයන්ට අපහාස කිරීම සඳහා කැලෑ පත්තර භාවිතයට ගැනිණි.

මේ අනුව සම්මත හෝ අසම්මත හෝ ප්‍රේම සම්බන්ධතා සමඟ අපහාස කිරීම සහ පළිගැනීම අද මෙන් ම එදා දවසේ ද තිබී ඇත. එනමුදු එය අද වනවිට වෙනස් මුහුණුවරක් ගෙන තිබෙන්නේ ඒ සඳහා උපයෝගි කරගන්නා මාධ්‍යයේ වෙනස්වීම නිසා ය. පළිගැනීම, හිංසනයට ලක් කිරීම, අපහාස කිරීම කවදත් මිනිස් සිත් තුළ නිදන් ගත වී තිබෙන ජාගර සිතිවිලිය.

“සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදු කෙරෙන අපහසුතාව මම දකින්නේ විද්‍යුත් කැලෑ පත්තරයක් විදිහටයි. අද වනවිට සමහරුන් පළිගැනීමට රිදවීමට සමාජ මාධ්‍ය ජාලා හොඳ අවස්ථාවක් කරගෙන තිබෙනවා. මෙවැනි මානසික තත්ත්වයකට පත් වෙන්නේ ඉතා දුර්වල පෞරුෂයක් තිබෙන අය. ඒ අයට ඊට වඩා විකල්පයක් ගැන අවබෝධයක් නැහැ. ඔවුන් මෙවැනි තත්ත්වයට පත් වෙන්නේ පෞරුෂයේ ඇතිවන ගැටලුවක් නිසා. ඕනෑම සමාජයක විවිධ පෞරුෂ තත්ත්වයන් සහ විවිධ මානසික තත්ත්වයන් සහිත අය සිටිනවා. සමහරුන් අන්තර්ජාලය ඔස්සේ ලිංගික අවශ්‍යතා සපුරා ගන්නවා. ඒ අය පෞද්ගලිකව තෘප්තියක් ලබන අතරේ ඒ දර්ශන අනික් අයට මුදා හරිනවා. මේ අය සමාජ භීතිකාවන් සහිත අය හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ අය ගනුදෙනු කරන්නේ සමාජය සමඟ නෙමෙයි. අන්තර්ජාලය සමඟ‍. අන්තර්ජාලය සමඟ ඇලී ගැලී සිටින කෙනා සමාජයට භයයි. ඒ නිසා තමයි සමාජ භීතිකාව, සමාජ කාංසාව ඇති වෙන්නේ. ඒ වගේ ම උන්මාදය කියන මානසික තත්ත්වයට පත්වුණු අයත් ඒ අතරේ ඉන්නවා. මේ අයව අපිට බැලූ බැල්මට හඳුනාගන්න බැහැ. අපරාධකාරයකු කියලා ‍හිතන්නවත් බැහැ. ඒත් දවස තිස්සෙම අන්තර්ජාලයේ සැරිසරමින් විවිධ අපරාධ, වංචා කරනවා. මනෝ උපදේශනය මඟින් මේ අයගේ පෞරුෂයේ ගැටලු සහ මානසික ගැටලු නිරාකරණය කරගන්න පුළුවන්.” යනුවෙන් පැහැදිලි කළේ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක, ආචාර්ය සුරංග අමරකෝන් ය.

සමාජයේ පුද්ගලයන් සමාජ කාංසාව වැනි මානසික තත්ත්වයන්ට පත්වන්නේ ඇයි? පෞරුෂයේ ගැටලු ඇති වන්නේ ඇයි? බොහෝ දෙනෙකු පවසන ආකාරයට මෙවැනි අපහසුතාවන්ට අගතියට වැඩි වශයෙන් කාන්තාවන් ගොදුරු වන්නේ ඇයි? මෙය සමාජ විද්‍යාත්මකව විග්‍රහ කර බැලිය යුතු කාරණයකි.

“අද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අගතියට පත්වන පාර්ශ්ව ගැන විමර්ශනය කළාම කණ්ඩායම් 3 ක් හඳුනාගන්න පුළුවන්. ඒ තමයි අවු. 13 – අවු. 19 අතර පසුවන නව යොවුන් කණ්ඩායම, අවු. 18 – 29 ත් අතර පසුවන තරුණ කණ්ඩායම සහ රැකියා වියුක්තිව නිවෙස් තුළ හුදකලාව පසුවන කණ්ඩායම. වර්තමානයේ අපිට දකින්න ලැබෙන්නේ තරගකාරිත්වය තුළ දුවන සමාජයක්. මේ ලුහුබැඳීම සමඟ එකිනෙකා තේරුම් ගැනීමට වෙලාවක් නැහැ. දරුවන්ගේ ආශාවන් සිතුම් පැතුම් හඳුනා ගන්න මවුපියන්ට වෙලාවක් නැහැ. බිරියට ඇහුම්කන් දෙන්න සැමියාට වෙලාවක් නැහැ.

මේ පීඩනකාරී තත්ත්වය මානසික සතුට, තෘප්තිය නැති කරගැනීමට තනිකම මකා ගැනීමට ඒ අය සමාජ මාධ්‍ය වෙත යොමු වෙනවා. ඒත් ඒ අය නිවැරැදි අවබෝධයකින් නෙමෙයි එය පාවිච්චි කරන්නේ. අනුකරණයක් හැටියටයි මෙයට පෙලඹෙන්නේ. ඒ නිසයි ඉහත සඳහන් කළ කණ්ඩායම් අගතියට පත්වෙන්නේ. පුරුෂාධිපත්‍ය මූලික වුණු සමාජයක ස්ත්‍රිය මෙවලමක් බවට පත් වෙනවා. කාන්තාවන් වැඩි වශයෙන් ගොදුරු වෙන්නේ ඒ නිසයි. දෙමවුපියන් යොවුන් වියේ පසුවන සහ තරුණ දරුවන් ගැන අවධානය යොමු කරනවා නම් පවුලක බැඳීම් ශක්තිමත් වෙනවා නම් සමාජ මාධ්‍ය භාවිතයෙන් සිදුවන විනාශ වළක්වා ගන්න පුළුවන්.” යනුවෙන් පැහැදිලි කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යා දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී, මහාචාර්ය මනෝරි වීරතුංගය.

ලෝකය විශ්ව ගම්මානයක් වී ඇති යුගයක සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමටත් තොරතුරු දැනගැනීමටත් සමාජ සත්කාර වැඩසටහන් සංවිධානය කිරීමටත් ධනාත්මක අදහස් පළ කිරීමටත් සමාජ මාධ්‍ය තුළින් සිදුවන්නේ මහඟු සේවයකි. එහෙත් ඕනෑම තාක්ෂණයන් පසුපස හොඳ සමඟ නරක ද පැමිණෙන බව අප අමතක නොකළ යුතු ය. සමාජ මාධ්‍ය ජාලා භාවිතයේදී දැනුම්වත්භාවය වටින්නේ එබැවිනි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *