විධායකය අහෝසි කරන්න ජවිපෙන් 20 වන සංශෝධනය -Audio

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සදහා වන 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පල කළා.

මේ එහිදී මන්ත්‍රීවරයා පල කළ අදහස්.

1994 සිට මේ වන තෙක් විධායක ජනාධිපති ධුරයට පත්වූ සියලු දෙනා ජනාධිපතිවරනයේදී ජනවරම ඉල්ලා සිටියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක 1994දී අහෝසි කරන බව කිවුවා. ඒ සඳහා දිනත් නියම කළා. ඇයගේ දෙවැනි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණය අහෝසි කරන්න සූදානම් බව කිවුවා. 2000දී ඒ සඳහා පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළා. නමුත් එහි තිබූ වෙනත් හානිදායක කරුණු නිසා එම සම්මත වූයේ නැහැ. 2005දීත් 2010දීත් මහින්ද රාජපක්ෂත් 2010දී සරත් ෆොන්සේකාත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ප්‍රකාශ කළා. 2015දී ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාව සිට රාජපක්ෂ කඳවුරට එරෙහිව අනෙක් කඳවුරේ අපෙක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන්පාඨයක් වුණේ විධායක ජනාධිපතිවරණය අහෝසි කිරීමයි. ඔහු මැතිවරණ වේදිකාවල පුනපුනා එය එය ප්‍රකාශයට පත් කළා. දිවුරුම් දෙන අවස්ථාවේදී කිවුවා, අපේ රටේ නැවත ජනාධිපතිවරණයක් නැති බව. ඒ වගේම ඔහුගේ ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන පාර්ශ්වකරුවෙක් වූ සෝභිත හිමියන්ගේ දෙණ ඉදිරිපිටදී ඔහු ප්‍රකාශ කළා, විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න තමන් සූදානම් කියලා. ජනාධිපතිවරණයේදීත් ජනාධිපති වීමෙන් පසුවත් අවස්ථා තුනකදී විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව රටට ප්‍රකාශ කර තිබෙනවා.

විධායක ජනාධිපති ධුරය නිර්මාණය කළ එක්සත් ජාතික පක්ෂයත් විවිධ අවස්ථාවලදී විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව කියා තිබෙනවා. එජාපය තිස්සමහාරාමයේදී පැවැත්වූ පක්ෂ සමුළුවකදී විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න යෝජනාවක් සම්මත කළා. කෙසේ වෙතත් එජාපය තමන්ට ජනාධිපිති ධුරය ලබාගන්න පුළුවන් බව දැනෙන කොට එම සටන් පාඨය අමතක කරනවා. බැහැ කියලා දැනෙනකොට අහෝසි කිරීමේ සටන් පාඨය නැවත ගන්නවා. කුමන තත්වයන් තුළ වුවත් මේ වන විට එජාපය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කැමති බව ප්‍රකාශ කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මේ වන විට තමන්ට ජනාධිපති පුටුවේ වාඩිවෙන්න බැරි බව දන්න නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න සහය ලබා දේයැයි විශ්වාසයක් තිබෙනවා. මොකද දැන් තිබෙන තත්වය අනුව තිබෙන පුටුවත් ඔහුට ෂුවර් නැහැ. මහින්ද රාජපක්ෂත් අවස්ථා තුනකදී අපේක්ෂකයෙකු ලෙසත් 1994දී සහ 2000දී චන්ද්‍රිකාගේ පාර්ශ්වකරුවෙකු ලෙසත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම නියෝජනය කළා. ඒ නිසා ඔහුටත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට විරුද්ධ වෙන්න පුළුවන්කමක් නැහැ. මෛත්‍රීපාල සිරිසේන නායකත්වය දෙන කණ්ඩායමටද ඔවුන් රටට දෙන ලද එකඟතාව අනුව විධායක ජනාධිපත් ක්‍රමය අහෝසි කිරීමට පක්ෂව කටයුතු කරන්න සිදුවෙනවා.

මේ වන විට ජනාධිපතිවරණයෙන් අවුරුදු තුනක් ගතවී තිබෙනවා. ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් සාකච්ඡා වට ගණනාවක් පැවැත්වී තිබෙනවා. එජාපයට හෝ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සංශෝධනයක් ගේන්න වුවමනාවක් නැති බව අපිට හොඳටම විශ්වාසයි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ සූදානම් ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20වැනි සංශෝධනය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන්න.

එම සංශෝධනය ගෙන එන විට කරුණු තුනක් සැලකිල්ලට ගත යුතු වෙනවා. පළමුවැන්න සංශෝධනය ගෙන එන කාල රාමුව. මේ වන විට විශ්වාසභංගයක් ඉදිරිපත්වීම පිළිබඳව සාකච්ඡාවක් තිබෙනවා. එය කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එනවානම් එම ක්‍රියාවලියෙන් පසුව අපි මෙම සංශෝධනය ගේන්න බලාපොරොත්තු වෙනවා. නමුත් විශ්වාසභංග යෝජනාව මාස ගණනාවක් ඇදෙනවානම් අපි සංශෝධනය කඩිනමින් ගේන්න බලාපොරොත්තු වෙනවා. සමහරු කියනවා, විශ්වාසභංගය ව්‍යාකූල කිරීම සඳහා මෙම සංශෝධනය ගේන්න සූදානමක් තිබෙනවා කියලා. එවැනි දෙයක් කළ නොහැකියි. පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයත් ව්‍යවස්ථා සංශෝධනයත් යනු ක්‍රියාවලීන් දෙකක්. විශ්වාසභංගයක් එනවානම් අනිවාර්යයෙන්ම එයට ප්‍රමුඛතාව ලැබෙනවා. ඒ නිසා විශ්වාසභංගයට ඉඩදී තමයි, අපි මේ සංශෝධනය ගේන්න බලාපොරොත්තු වෙන්නේ.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :