දඹුල්ල කණ්ඩලම වැවේ දර්ශනය සංචාරක හෝටලයකට පෙනීම සඳහා මහවැලි අධිකාරියේ කණ්ඩලම කාර්යාලයේ නිලධාරීන් එක්ව වැව් ඉස්මත්තේ ඇති ඉතා වටිනා ගස් කොළන් කිසිදු ඉවක් බවක් නොමැතිව කපා දමා විනාශ කොට ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
මෙසේ වැව් ඉස්මත්තේ ඇති ගස්වල ඉහළ කොටස් එක පෙළකට කපා දමන බවට ලැබුණු තොරතුරක් මත අප කණ්ඩලම වැවේ සොරොව්ව ආසන්නයට ගිය විට පුද්ගලයන් කිහිපදෙනෙකු ගස් කපමින් සිටින අයුරු දැක ගැනීමට හැකියාව ලැබුණු අතර මෙසේ ගස් කපමින් සිටි පිරිස වැව ආසන්නයේම පිහිටි සංචාරක හෝටලයකින් යෙදවූ කම්කරුවන් බව අනාවරණය වුණා.
කණ්ඩලම වැව ආසන්නයේ සිටි කාන්තාවක ගෙන් අප මේ පිළිබඳව විමසීමේදී ඇය කියා සිටියේ මහවැලි අධිකාරියේ නිළධාරියෙකු සමඟ පැමිණ
පිරිසක් වැව් ඉස්මත්ත ගස් වල ඉහල කොටස් කපා දැමූ බවයි. ඔවුන් පිරිස දැනට සංචාරක හෝටලයේ ඉඩමේ ගස් කපමින් සිටින බවද ඇය පෙන්වා දී තිබෙනවා.
එක පෙළකට පිහිටි කුඹුක් අන්දර කරද ගොඩ කිරිල්ල ආදි ගස් රැසක් වැව් තාවුල්ලේ පිහිටි ගස් රැසක්  ඉහළ කොටස් කපා දමා වැව් තාවුල්ල මතම දමා තිබෙන අයුරු දැක ගැනීමට හැකියාව පවතින අතර සංචාරක හෝටලයේ පිහිටි ඉඩමේ ද එම දිසාවටම ගස් පෙළ කපා දමා තිබෙන ආකාරයක් දැක ගැනීමට අවස්ථාව පවතිනවා.
මහවැලි අධිකාරියට අයත් මෙම ප්‍රදේශය නිසා අප කණ්ඩලම වැව බාරව සේවය කරන නිලධාරියා හමුවීම සඳහා කාර්යාලයට ගිය ද එහි ඉංජිනේරු සහකාර වරයා නොසිටි අතර සේවකයකු කියා සිටියේ විශේෂ හදිසි ගමනක් ගිය බවයි. පසුව අප ඔහුගේ ජංගම දුරකථනයෙන් කණ්ඩලම වැව භාර සහකාර ඉංජිනේරු සහකාර ධම්මික බණ්ඩාර හේරත් මහතාගෙන් මේ පිළිබඳව විමසූ අතර ඔහු කියා සිටියේ විශාල පිරිසක් කන්ඩලම වැවේ දිය නෑම සඳහා පැමිණෙන බවත් එම ජනතාවගේ හිස මතට ගස් කඩා වැටීමේ අවදානමක් පවතින නිසා ගස් වල කොටස් ඉවත් කළ බවයි.ඒ වෙනුවට අලුතින් කුඹුක් පැල සිටුවන බවද ඔහු ප්‍රකාශ කළා. පසුව අප චෝදනාව එල්ල වී ඇති සංචාරක හෝටලයට ගොස් පරීක්ෂා කළ අතර උස් ස්ථානයක පිහිටා ඇති සංචාරක හෝටලයේ නාන තටාකය ආසන්නයට කණ්ඩලම වැව දර්ශනය වීම සඳහා එම ස්ථානයේ සිට ම වැව දක්වා ම ඇති ගස්වල ඉහළ කොටස් කපා දමා ඇති ආකාරය දැක ගැනීමට හැකියාව ලැබිණි. එමෙන්ම එහි සේවකයෙකුගෙන් අප විමසීමේදී ඔහු කියා සිටියේ දර්ශනය වීම සඳහා අවහිර වූ ගස් වල කොටස් කපා ඉවත් කළ බවයි.
පසුව අප එම සංචාරක හෝටලයේ කළමනාකරු බව කියන පුද්ගලයාගෙන් මහවැලි අධිකාරියට අයත් කණ්ඩලම වැව ඉස්මත්තේ පිහිටි ගස් කොළන් කපා දැමීම සිදු කළේ දැයි විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ තමන් සේවය කරන හෝටලයේ ට අයත් භූමියේ ගස්වල ඉහළ කොටස් තමන් ඉවත් කළ බවත් වැව් ඉස්මත්තේ ඇති ගස්කොලන් මහවැලි අධිකාරියෙන් ඉවත් කළ බවයි.
එම සංචාරක හෝටලයට ගොස් නැවත අප කණ්ඩලම වැව ප්‍රදේශයට පැමිණෙද්දී කාර්යාලයේ නොසිටී ඉංජිනේරු සහකාර ධම්මික බණ්ඩාර හේරත් මහතා පැමිණ සිටි ආකාරය අප දුටිමු. අප වහාම එම ස්ථානයට ගොස් ධම්මික බණ්ඩාර මහතා කැඳවා ගෙන ගොස් කණ්ඩලම වැව් ඉස්මත්තේ අලංකාරව පිහිටි දැනට කපා දමා ඇති ගස්කොලන් පෙන්වා ඔහුගෙන් කරුණු විමසූ අතර ඔහුගෙන් සාර්ථක පිළිතුරක් හිමි නොවීය.

දඹුල්ල කාංචන කුමාර ආරියදාස

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :