පස්සර බස් අනතුරෙන් පසු පලා ගිය ටිපර් රියදුරු අල්ලයි / මිය ගිය අයගේ අවසන් කටයුතුවලට ආධාර

Sri Lanka

පස්සර ප්‍රදේශයේ මාරක බස් රථ අනතුරින් පසු පළාගොස් සිටි ටිපර් රථ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

45 හැවිරිදි සැකකරු පස්සර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්සර ප්‍රදේශයේදීයි.

එම ටිපර් රථය එම ප්‍රදේශයේ වැලි ප්‍රවාහනය කරන ටිපර් රථයක් බවට ද හෙළිවී තිබෙනවා.

අදාළ අනතුර සිදුවූ අවස්ථාවේ බස් රථයට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයේ රියදුරා සිද්ධියෙන් පසු පලා ගොස් තිබුණා.

බස් රථ ප්‍රපාතයට පෙරලීමට පෙර මාර්ගයේ පටු ස්ථානයේ අදාළ ටිපර් රථය නවතාගෙන සිටින අයුරු සී.සී.ටී.වී දර්ශනවල සඳහන්.

ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

බස් රථයේ රියදුරා බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ රුධිර සහ මුත්‍රා සාම්පල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ලබාගෙන තිබෙනවා.

ඔහු මත්පැන් හෝ මත්ද්‍රව්‍යයක් ලබාගෙන සිටියේ ද යන්න පරීක්ෂා කිරීම එහි අරමුණ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

රියදුරු ලුණුගල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙක්.

මේ අතර අනතුරින් මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු වෙනුවෙන් රුපියල් 30,000 ක සහන මුදලක් ලබා දීමට ඌව පළාත් සභාව තීරණය කර තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පතිරණ මහත්මිය පැවසුවේ, එම පුද්ගලයින්ගේ අවසන් කටයුතු ප්‍රාදේශීය සභාවල සහයෙන් සිදුකිරීමට ද තීරණය කර ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ 30 දෙනෙකු මේ වනවිට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඉන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතලයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *