පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනාවලට හිටපු ජනපති පිළිතුරු දෙයි

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන වාර්තාව පදනම් කර ගනිමින් තමන්ට එල්ලවන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති , පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දැනුවත්ව සිටි බවට ව්‍යාජ මතවාදයක් සමාජය තුල පතුරුවා හැරීමට පසුගිය රජයේ දේශපාලනඥයන් හා ජනමාධ්‍ය කටයුතු කළ බවයි.
මෙරට සෑම ජනාධිපතිවරයකු සමයේ දීම රට තුල විවිධ පිපිරීම් , ඝාතන සිදුවූ අතර ඒ සම්බන්ධයෙන් ද කොමිෂන් සභා පිහිටුවිමේ අවශ්‍යතාවයක් තිබිය යුතු බවයි හිටපු ජනපතිවරයා පවසන්නේ.
කෙසේ නමුත් එම සිදුවීම් ද පාස්කු ප්‍රහාරය මෙන්ම ත්‍රස්ත ප්‍රහාරයන් බවද ඔහු අවධාරණය කළා.
1978 ව්‍යවස්ථාවෙන් පසු පත්වූ සෑම ජනපතිවරයකුටම රජයෙන් සහාය හිමිවුවද තමන්ට තම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන අගමැතිවරයකු හෝ ඇමති මණ්ඩලයේ බහුතරයක් නොතිබූ බවයි හිටපු ජනපතිවරයා සදහන් කළේ.
ඒ අනුව තමන් වසර 5ක් රට ඉදිරියට ගෙන ගියේ බාධාවන් මධ්‍යයේ බවත් රටට එරෙහි බොහෝ දෑ තමන් වැලැක්වූ බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවා.
පසුගිය රජය අත්සන් තැබූ සිංගප්පූරු ගිවිසුම අත්හිටුවීම මා එම් සී සී ගිවිසුමට තමන් එරෙහි වූයේ බාධාවන් මැද බවයි ඔහු පැවසුවේ.
කෙසේ වෙතත් අර්බුධ මැද වුවද පසුගිය රජය රටට දැවැන්ත වෙනසක් අත්කර දුන් බවත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් විදෙස් සබදතා වර්ධනය කළ බවත් හිටපු ජනපතිවරයා සදහන් කළා.
සුරක්ෂා රැකවරණය ,සුවසැරිය, ආදී දැවැන්ත මට්ටමේ ව්‍යාපෘති ඇති කිරීම මත්ද්‍රව්‍ය වැලැක්වීම හා දුම්කොළ අවවාද නිවේදනය ආදිය ද පසුගිය රජයේ ජයග්‍රහණ බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *