අගමැතිවරයාට ගෙන ආ විශ්වාසභංගය තුළින් එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ අභ්‍යන්තරයේ පැවති අර්බුධ සමනය කිරීම පමණක් සිදුවූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද ප්‍රකාශ කළා. ඒ ජනතා විමුක්ති පෙරමුණ කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින්.
“පසුගිය මාසයකට ආසන්න කාලයක් සංවාදයට ලක්වී තිබුණේ විශ්වාසභංගයයි. එය ඊයේ පැවති ඡුන්ද විමසීමෙන් පසුව නිමා වුණා. ඡන්ද විමසීමේ දිනය සහ විශ්වාසභංගය විවාදයට ගන්නා තෙක් සිදුවූ සංවාදවලින් පෙන්නුම් කළා, අපේ රටේ දේශපාලනය කොයිතරම් කැත මජර පොර පිටියක්ද කියන එක. එක් පැත්තකින් විශ්වාසභංගයට අත්සන් කළ අය ඡන්දය දෙන්න හිටියේ නැහැ. විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙනවා යැයි ප‍්‍රකාශ නිකුත් කරපු අය පවා විශ්වාසභංගයට එරෙහිව ඡන්දය පාවිච්චි කළා. මේ සියලූ සිදුවීම් පෙළ ගත්තාම ජනතාවට මෙවැනි කැත මජර දේශපාලකයින්ට අපේ රටේ වගකීම් පවරා දිය යුතුද කියන එක මැනෙවින් ඒත්තු ගන්වා තිබෙනවා. ඒ වගේම මෙවැනි දේශපාලකයින් අපේ රට පාලනය කරනවානම් එයින් රටට සිදුවන ව්‍යසනය හොඳින් පෙන්වා දී තිබෙනවා.
මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා මෙම විශ්වාසභංගය ගෙනඒමට ප‍්‍රධානම වැඩකොටසක් සිදුකළා. අවසානයේදී රටේ නායකයා වූ, ශ‍්‍රීලනිපයේ නායකයා වූ, එජනිසයේ නායකයා වූ මෛත‍්‍රීපාල සිරිසේන රට එක තැනකට ගන්නවා තබා තම පක්ෂයත් තම මන්ත‍්‍රී කණ්ඩායමත් එක තැනකට ගන්න අසමත් වී තිබෙනවා. ඉතින් පක්ෂය එක තරනකට ගන්න බැරි එවැනි නායකයෙකුට රට මෙහෙයවිය හැකිද? මෙම විශ්වාසභංගයෙන් පසුව මෛත‍්‍රීපාල සිරිසේන සහ ඔහුගේ කුඩා කල්ලිය වැනෙනසුළු, යටි ගේම්වලින් දේශපාලනය කරන පටු බල වුවමනාවන් වෙනුවෙන් රට අස්ථාවර කිරීමට කටයුතු කරන්නන් බවට තහවුරු වුණා.
මෙම විශ්වාසභංගයෙන් රට ගැන හෝ ජාතිවාදය ඉස්මතුවීම හෝ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව හෝ සංවාදය ප‍්‍රමුඛ වුණේ නැහැ. රාජපක්ෂ කල්ලියට අවශ්‍ය වුණේ තමන්ගේ ඝාතන, දූෂණ චෝදනාවලින් ආරක්ෂා වීමටයි. ඒ නිසා මේ විශ්වාසභංගයෙන් අපේ රටේ දේශපාලනයේ පිරිහීමේ ස්වභාවය මනාව පෙන්නුම් කර තිබෙනවා.
ඒ වගේම එක්සත් ජාතික පක්ෂය ඇතුළේ දරුණුතම ගැටුම්, විවේචන, බෙදීම් සමාජගත කරන කාල වකවානුවක් බවට පත්වුණා. රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව මෙහෙය වන්නේත් පක්ෂය මෙහෙය වන්නේත් තමන් වටා සිටින සමීපතම කල්ලියේ වුවමනාවට බවත් ඔහු එජාප පාක්ෂිකයින් ගැන හිතනවා වෙනුවට වටේ ඉන්න ගජමිතුරු කල්ලිය ගැන හිතන බවටත් විශාල විවේචනයක් එල්ල වුණා.
එවැනි ප‍්‍රකාශ සිදුකළ රංගෙ බණ්ඩාර, වසන්ත සේනානායක වැන්නවුන්ගේ සියලූ ප‍්‍රකාශ ඡන්දය දින රාත‍්‍රී 9.30 වන විට බැහැර වුණා. ඒ නිසා දේශපාලනයේ යටි ගනුදෙනු මජර කැත තත්වය ඒවායින් හෙළි වුණා. රනිල් කල්ලියත් මෛත‍්‍රී කල්ලියත් මහින්ද කල්ලියත් ජනතාවට ලබාදුන් කිසිදු  පොරොන්දුවක් විශ්වාස කළ නොහැකි තත්වයකට පත්වුණා. විජේදාස රාජපක්ෂ වැන්නවුන්, මෛත‍්‍රී කල්ලියේ මන්ත‍්‍රීවරුන් එයට හොඳම උදාහරණයි. ඒ වගේම විශ්වාසභංගය වැනි ඉතාම වැදගත් අවස්ථාවකදී පවා පාර්ලිමේන්තුව මඟහරින පතෝල මන්ත‍්‍රීවරුන් 26දෙනෙකුත් හිටියා.
විශ්වාසභංග යෝජනාව ආපු දවසේ සිට ජවිපෙ ස්ථාවරය ඉතාම ඍජු, පැහැදිලි එකක් වුණා. අපි පැහැදිලිව කිවුවා, විශ්වාසභංගයට පක්ෂව ඡුන්දය දෙනවා කියලා. ඒ වගේම විශ්වාසභංගයේ කරුණුවලට අමතරව තවත් කරුණු විශාල ප‍්‍රමාණයක් එයට ඇතුළත් විය යුතු බව අපි පැහැදිලි කළා. ඒ වගේම පාර්ලිමේන්තු විවාදයේදී ජනවාරි 08 සිට මෛත‍්‍රී – රනිල් ජනවරමට එරෙහිව කළ සියලූ කටයුතු අපි හෙළිදරව් කළා. රනිල්ටත් මෛත‍්‍රීටත් සත්‍ය වශයෙන්ම විශ්වාසභාංගයක් ගේන්න  ඕනෑ. ඒ, ජනවාරි 08 ජනවරමට හවුල් වූ ජනතාව විසිනුයි. මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාත් දැනටමත් ජනවරමට පිටුපා හමාරයි.
මෙම විශ්වාසභංග යෝජනාව ඉතාම අපරිණත එකක්. එයින් එජාපය අභ්‍යන්තරයේ තිබුණු අර්බුද සමනය කර දෙන්න සමත් වුණා. ඇමති ධුරවලින් ඉවත් කළ පුද්ගලයින්, මාස දෙකක් පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත‍්‍රීවරුන් රනිල් වික‍්‍රමසිංහ ආරක්ෂා කරන තත්වයකට පත්වුණා. එජාපය තුළ නාමික හෝ එකඟතාවයකට පත්වී තිබෙනවා. පළාත් පාලන මැතිවරණයෙන් පරාජයට පත්වුණු එජාපයට විශ්වාසභංගය ගෙනා විගඩම්කාරීන් විසින් පාර්ලිමේන්තුවේදී ජයක් අත්කර දී තිබෙනවා. මෙම විශ්වාසභංගයෙන් පසුව රට තුළ මජර දේශපාලනයක් දිගහැරෙමින් තිබෙනවා. අගමැතිවරයාට එරෙහිව ඡන්දය පාවිච්චි කළ ඇමතිවරුන් අගමැතිවරයා යටතේ තවදුරටත් කැබිනට් මණ්ඩලයේ සිටින බව කියනවා. එනිසා ජනතාව තවදුරටත් නරඹන්නන් නොවී වගකිවයුතු දේශපාලනයකට පෙළගැසිය යුතුව තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ අපි හැමදාමත් රටටත් ජනතාවටත් වගකියන පක්ෂයක්. අපි කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් අපි වගකියනවා. රටට අවශ්‍ය රටටත් තමන්ගේ ඡුන්දදායකයින්ටත් වගකියන දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයිද? තවදුරටත් මේ සුකිරි බටිල්ලන්ගේ දේශපාලනයට, ආර්ථික අගාධයට වැටී තිබෙන අපේ රට ගොඩගන්න පුළුවන්කමක් නැහැ. අපේ රට ගොඩගතහැකි වන්නේ තමන් කරන ප‍්‍රකාශ ගැන වගකියන, ඡන්දදායකයාට වගකියන දේශපාලන ව්‍යාපාරයකට පමණයි. ඒ නිසා අපි ජනතාවට කියනවා, තවදුරටත් මේ සුකිරි බටිල්ලන්ගේ දේශපාලනය වෙනුවට රටටත් ජනතාවටත් වගකියන දේශපාලනයක් වෙනුවෙන් පෙළගැසෙන්න කියලා. “
23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :