කැබිනට් සංශෝධන එපා / ජවිපෙ ජන්දයක් ඉල්ලයි

කැබිනට් සංශෝධනයක් නොව වහා පාර්ලිමේන්තු මැත්වරණයක් පැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත මහතා මේ බව සදහන් කළේ අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

අපි වැඩකරන ජනතාවගෙන් ඉල්ලනවා ශ්‍රීලනිපයේ, එජාපයේ, රාජපක්ෂගේ මැයි දිනවලට යන්න එපා කියලා. වැඩකරන ජනතාවට නායකත්වය දෙන අපිට එහෙම ඉල්ලන්න අයිතියක් තිබෙනවා. මැයි දින සැමරුමට අදාළ සංස්කෘතියක් තිබෙනවා. ඒ සංස්කෘතිය නැත්නම් මැයි දින සැමරුමක් නැහැ. වෙසක් උත්සවයට, පොසොන් උත්සවයට, නත්තලට අදාළ සංස්කෘතියක් තිබෙනවා. ඒ සංස්කෘතිය නැත්නම් එම උත්සව සම්පූර්ණ වෙන්නේ නැහැ. වෙසක් එකට බෞද්ධ කොඩිය නැත්නම්, නත්තලට කුරුස ලකුණ නැත්නම් එම උත්සව සම්පූර්ණ වන්නේ නැහැ. ඒ වගේ තමයි රතු කොඩිය නැතිව මැයි දින සැමරුමක් නැහැ. වැඩකරන දිනයට අදාළ නායකයින් ඉන්නවා. මාක්ස්, එංගල්ස්, ලෙනින් නැතිව මැයි දිනයක් නැහැ. ඔවුන් වැඩකරන ජනතාවගේ ජාත්‍යන්තර නායකයින්. දේශපාලන පක්ෂවල නායකයන්ගේ පින්තූර දාගෙන මැයි දින සමරන්න බැහැ. ඒ වගේම මැයි දිනයට අදාළ සංකේත තිබෙනවා. දෑකැත්ත, මිටිය නැතිව ඡන්ද ලකුණු දාගෙන මැයි දිනය සමරන්න පුළුවන් කමක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අපි කවදාවත් සීනුව ලකුණින් මැයි දිනය සමරන්නේ නැහැ. අපි මැයි දිනයට යොදා ගන්නේ රතු කොඩියයි. දෑකැත්ත මිටිය සංකේතයයි. එම සංස්කෘතිය නැතිව අපේ රටේ ධනපති පක්ෂ මැයි දිනය දවසට වෙන වෙන විකාර කරනවා. ඒවට මැයි දින සැමරුම් කියන්නේ නැහැ. එනිසා අපි වැඩකරන ජනතාවගෙන් ඉල්ලනවා එම විකෘති මැයි දිනවලට යන්න එපා කියලා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ටිල්වින් සිල්වා සහෝදරයා පිළිතුරු ලබාදෙමින්…
රටේ ජාතික ආගමික උත්සවයක් නිසා මැයි දිනය වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒවගේම වෙන කුමක් හෝ කරුණක් නිසා, වෙසක් දිනය වෙනස් කරන්නත් පුළුවන් කමකුත් නැහැ. කොළඹ පැවැත්වෙන ජාතික වෙසක් උත්සවය නිසා, මැයි 1දා කොළඹදී මැයි දිනය සමරන්න බාධාවක් තිබෙනවා. එනිසා තමයි 1දා යාපනයේදී අපි මැයි දිනය පවත්වන්නේ. නායක ස්වමීන්වහන්සේලා ඉල්ලා තිබුණේ වෙසක් උත්සවයට බාධාවක් නොවන විදිහට මැයි දිනය සමරන්න කියලා. උන්වහන්සේලාගේ ඉල්ලීම ඉතාම සාධාරණයි. යාපනයේදී මැයි දින සැමරීම වෙසක් උත්සවයට බාධාවක් නොවන නිසා, අපි යාපනයේදී මැයි දිනය සමරනවා. එනිසා ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම අතර, ගැටුමක් නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ වමේ ව්‍යාපාරයක්. මේ රටේ විශාලම වෘත්තීය සමිති ව්‍යාපාරය තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි. එනිසා, මැයි දිනයේ උරුමය තිබෙන්නේ අපටයි. ජවිපෙ ඇතුළු වමේ ව්‍යාපාරය තමයි, වැඩකරන ජනතාව අයිතිවාසිකමක් බුක්ති විඳිනවා නම් ඒ සියල්ල අරගල කොට දිනා දුන්නේ. ඒ කිසිවක් මේ පාලකයන් නිකම් දුන්න අයිතිවාසිකම් නොවේ. රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබා දෙන්න අපිට හැකි වුණා. ඒවගේම විදුලිබල මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් 6000කට අධික පිරිසකට සේවය ස්ථිරකර දීමට අපිට හැකියාව ලැබුණා. එවැනි අයිතිවාසිකම් විශාල ප්‍රමාණයක් අපි දිනාදී තිබෙනවා. නමුත් පාලකයන් වැඩකරන ජනතාව වෙනුවෙන් කරපු දෙයක් ඇත්තේ නැහැ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ පසුගිය කාලයේ සාකච්ඡාවක් තිබුණා. ආණ්ඩුවේ අර්බුද නිසා එම සාකච්ඡා යටපත්වී තිබෙනවා. ජනතාවට වාසිදායක ව්‍යවස්ථා සංශෝධනයක් එනවා නම් අපි එයට සහාය දෙනවා. නමුත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ කාර්යභාරය පැවරෙන්නේ මේ ආණ්ඩුවටයි.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ලාල් කාන්ත සහෝදරයා පිළිතුරු ලබාදෙමින්…

අපි ආණ්ඩුවෙන් රුපියල් 10000ක වැටුප් වැඩිවීමක් ඉල්ලන කොට ඇතැම් අය අපෙන් විමසුවා ආණ්ඩුවට දෙන්න පුළුවන් වෙයිද කියලා. ඒවෙලාවේදී අපි කිව්වේ වැඩකරන ජනතාවට ලැබිය යුතු වැටුප් වැඩිවීම අපි ඉල්ලනවා. දෙන නොදෙන එක තීරණය කරන්නේ ආණ්ඩුවයි. ඒ අනුව අපි වැටුප් වැඩිවීම වෙනුවෙන් අරගලයක් දියත් කළා. ජනාධිපතිවරණයේදී එක් අයෙකුට පැහැදිලි විශාල ජයක් නොලැබෙන තත්ත්වයක් උඩ වැටුප් වැඩිවීම් දිනාගන්න අපට පහසු වුණා. මහින්ද රාජපක්ෂ ඔහුගේ අයවැයෙන් රුපියල් 3000ක්ද, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු දින 100යේ ආණ්ඩුව කාලයේ රුපියල් 7000ක්ද වශයෙන් වැටුප් වැඩිවීමක් දිනා ගන්න අපිට හැකිවුණා. රටේ ඇති වූ දේශපාලන තත්වය අනුව සටන් පාඨය තෝරලා පැයක හෝ වැඩවර්ජනයක් නොකොට ඉල්ලීම් දිනාගත්තා. ඊපීඑෆ්, ඊටීඑෆ් අරමුදල් වෙනත් ආයෝජනවලට යෙදවීමට එරෙහිව වෘත්තීය සමිති ව්‍යාපාරය අරගලයක් කළා. රොෂේන් චානක මියගියේ ඒ අරගලයේදී. ගොඩක් අයට ඒවා මතක නැහැ. 2016.01.01 සිට මේ ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප අහෝසිකොට තිබෙනවා. ආණ්ඩුව මැයි දිනය සමරනවා නම් කළ යුත්තේ මැයි 1දාට විශ්‍රාම වැටුප ඇතුළු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීමයි. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ වන විට වැඩිවී තිබෙන රුපියල් 6000ක් වූ ජීවන වියදම් දීමනාව දිනා ගැනීමේ අරගලයක් මැයි දිනයත් සමග දියත් කරන්න.
සයිටම් අරගලය යම් විසඳුමකට එන්න අපට හැකි වුණා. විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය නොලබපු වෛද්‍ය සිසුන් නැවත විශ්වවිද්‍යාලවලට ගියා. සයිටම් විරෝධී ජනපවුර සහ ආණ්ඩුව අතර, ඇතිවූ යම් එකඟතාවයකට අනුවයි අරගලය නතර කළේ. ආණ්ඩුව සයිටම් ආයතනය වසාදමා ගැටලුව විසඳන්න පොරොන්දු වුණා. නමුත් එම විසඳුම්වල ගැටලු මතුවෙන තැන් තිබෙනවා. තවමත් අවසන් විසඳුමක් ලැබී නැහැ. ඒ නිසා අවසන් විසඳුමක් එනතෙක් අරගලයක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි සයිටම් ආයතනයේ සිසුන්ටත් සාධාරණයක් ඉටුවිය යුතුයි කියන ස්ථාවරයේ සිටියා. මේ වන විට අරගලයට සම්බන්ධ වුනු සියලුම පිරිස්, සයිටම් ආයතනයේ සිසුන්ගේ දෙමාපියන් සමග අවබෝධයක් සහිතව තමයි අරගලය දියත් වෙන්නේ.

විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයන්ගේ අරගලය ඉතාම සාධාරණයි. සයිටම් අරගලය අවසන්වී ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයට ගොස් අධ්‍යාපනය හදාරණ තත්ත්වයක් ඇතිවූ පසුව අනධ්‍යන සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ වුණේ. ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග නොගත් නිසා, මේ වනවිට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය බිඳ වැටිලා තිබෙනවා. ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගත යුතුයි.
දේශපාලන අර්බුදයක් මතුවෙන හැමවෙලාවකදීම ජනතා විමුක්ති පෙරමුණේ අපි ඒ අවස්ථාවෙන් ජනතාවට ජයග්‍රහණ අත්කර දීමට කටයුතු කරනවා. 2001දී ඇතිවුණු දේශපාලන වටපිටාව මගින් ජනතාවට විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කර දුන්නා. පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ කිසිවක් ලබා ගත්තේ නැහැ. මේ වෙලාවේදී තිබෙන දේශපාලන වටපිටාවට අනුව විධායක ජනාධිපති ධුරය අහෝසිකර ගැනීමේ සටන අපි දියත් කරනවා. ඒ අපේ රටේ ජනතාවට ලැබෙන ජයග්‍රහණයක් කියල අපි විශ්වාස කරනවා.

අපේ රටේ කැබිනට් ඇමතිවරුන්ට ලැජ්ජාවක් නැහැ. ඒවගේම සදාචාරයකුත් නැහැ. එවැනි ඇමතිවරුන්ට ඡන්දය දෙන ජනතාවත් ඒකට වගකියන්න ඕනෑ. උත්සව සමයේ ආගමික ස්ථානවලට යන ඇතැම් ජනතාව තමන් ගෙනියන බෑග් ඇතුළු අපද්‍රව්‍ය පූජා භූමියේම දාල එනවා. සෙවන ලබා ගන්න ගහක් යටට යන පුද්ගලයන් එතැන කැත කරලා එනවා. එවැනි ජනතාවක් බුද්ධිමත් යැයි කියන්නේ කොහොමද? ඒනිසා බුද්ධිමත් නොවන ජනතාවක් රටේ ඉන්නවා. එවැනි ජනතාවක් පත්කරන ඇමතිවරුන් පිළිබඳ වගකීම ඔවුන් භාරගන්න ඕනෑ. එවැනි ජනතාවක් ඉන්න නිසා තමයි බන්දුල ගුණවර්ධන කිව්වේ පොල්ලෙල්ලක් දැම්මත් දිනනවා කියලා. ඇතත්ටම පොල්ලෙල්ලක් නොවෙයි බලු බෙට්ටක් දැම්මත් ඡන්දය දෙන ජනතාව අපේ රටේ ඉන්නවා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :