විශේෂ කොමිසමේ නිර්දේශ එනතෙක් දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක වීමක් නෑ

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ලැබෙනතුරු දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති ලේකම්වරයා අද (30) අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා යන මහත්වරු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි මේ බව අනාවරණ කෙරුණේ.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක සහ අමාත්‍ය මණ්ඩල ලේකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරු එම දැනුම්දීම් සිදුකරනු ලැබුවා.

එම පෙත්සම් අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දේශපාලන පළිගැනීම පිළිබඳව සොයා බැලූ  කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළත්ව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් ඉකුත් ජනවාරි මස 29 ද පත්කර ඇතැයි ජනාධිපති ලේකම්වරයා විසින් තමන්ට වාචිකව උපදෙස් ලබා දී ඇති බව ප්‍රකාශ කළා.

එම විශේෂ ජනාධිපති කොමිසමේ නිර්දේශ ලැබෙනතුරු දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමටත් එම පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපතිවරයා, අල්ලස් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු නොකිරීමට ජනාධිපතිවරයා තීරණය ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළා.

එම කරුණම අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ද අධිකරණය හමුවේ තහවුරු කර සිටියා.

අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 12 වනදා කැඳවීමට නියම කර තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *