අදිකරණ නියෝග නොතකා පොල් තෙල් බවුසර් දෙක රේගුවට භාරදීම ගැන විමර්ශන කිරීමට නියෝග

මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග නොතකමින් දංකොටුව ප්‍රදේශයේ තිබී සොයාගත් පොල් තෙල් බවුසර් දෙක රේගුවට භාරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

පසුගිය 29 වන දින රාත්‍රියේ දංකොටුව ප්‍රදේශයේ තිබී සැක සහිත පොල් තෙල් අඩංගු බවුසර් දෙකක් පොලීසිය භාරයට ගැණුනු අතර ඒ සම්බන්ධයෙන් දංකොටුව පොලීසිය පසුගිය 30 වන දින මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී අධිකරණය දැනුම් දී ඇත්තේ අදාළ බවුසර් දෙක අධිකරණ භාරයේ තබා රස පරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙසයි.

එහෙත් ඊයේ (31) දිනයේදී අදාළ බවුසර් දෙක පොලිස් ආරක්ෂාව සහිතව රේගු දෙපාර්තමේන්තුවට භාරදීමට පියවර ගෙන තිබුණා.

ඊයේ පස්වරුවේ අදාළ නඩුව මාරවිල අධිකරණයේ නැවත කැඳවු අවස්ථාවේ දී මාරවිල මහෙස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසා ඇත්තේ අදාළ පොල් තෙල් බවුසර් සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලබාගත්තේ ද යන්නයි.

රස පරීක්ෂක වාර්තාවක් නොගත් බව එහිදි පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති අතර බවුසර් දෙක රේගුවට භාරදුන් බව ප්‍රකාශ කර තිබෙනවා.

පොලීසිය අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකරන්නේ මන්ද යන්න විමසූ මාරවිල මහෙස්ත්‍රාත්වරයා රේගුවට ආරක්ෂා කරගැනීමට නොහැකි වූ භාණ්ඩ යළිත් රේගුවට භාරදිම නිෂ්ඵල ක්‍රියාවක් බව ප්‍රකාශ කළ අතර අදාළ බවුසර් සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවා ප්‍රකාශයක් ලබාදෙන ලෙස පොලීසියට නියෝග කරනු ලැබුවා.

මේ පිළිබදව විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළ මාරවිල මහෙස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා එම වාර්තාව අප්‍රේල් 21 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කර තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *