රවී කරුණානායකට ඇප

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රවී කරුණානායක හිටපු මුදල් අමාත්‍යවරයා ඇතුලු සැකකරුවන් 7 දෙනා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.

2016 වසරේ මාර්තු 31 වනදා මහ බැංකුව සිදුකළ බැදුම්කර වෙනදේසියේදී රුපියල් බිලියන 15 ක බැදුම්කර සාපරාධී පරිහරණය කළ බවටයි රවී කරුණානායක මහතා ඇතුලු සැකකරුවන්ට චෝදනා එල්ල වී ඇත්තේ.

එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරුවන් මුදාහරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

විත්තිකරුවන්ගේ විදේශ ගමන්ද තහනම් කෙරුණු අතර එම නියෝගය ආගමන විගමන පාලකවරයා හා ගුවන් තොටුපළ බලධාරීන් වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙසද මහාධිකරණය දැනුම් දුන්නා.

විත්තිකරුවන් නඩු විභාග සදහා අඛණ්ඩව පෙනී සිටීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කළ අධිකරණය නඩු විභාග සදහා පෙනී සිටීම මගහරිනු ලැබුවහොත් ඇප අවලංගු කොට නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තබන බවද මෙහිදී දැනුම් දුන්නා.

නඩුව යළි අප්‍රේල් මස 29 වනදා කැදවීමටයි අධිකරණය නියෝග කළේ.

මේ අතර 2016 වසරේ මාර්තු 29 වනදා ශ්‍රී ලංකා මහබැංකුව සිදුකළ බැදුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36.98 ක් සාපරාධී පරිහරණය කළ බවටද රවී කරුණානායක මහතා ඇතුලු 11 දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. නීතිපතිවරයා ගොනු කර ඇති එම නඩුවේ ඇප ලබා දීම සම්බන්ධයෙන් වූ තීන්දුව අද පස්වරු 2 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *