ජනපතිගේ ලන්ඩන් දූත පිරිස ගැන ජනාධිපති මාධ්‍ය ඒකකය පැහැදිලි කරයි

ජනාධිපතිවරයාගේ ලන්ඩන් සංචාරයට එක්වූ පිරිස සම්බන්ධයෙන් අසමත්‍ය වාර්තා පැතිර යමින් පවතින බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.මෙම සංචාරයට කිසිදු රාජ්‍යතාන්ත්‍රික සබදතාවයකින් යුතු නොවන පුද්ගලයකු හා කාන්තාවක එක්වූ බවට සමාජ මාධ්‍ය තුල චෝදනා එල්ලවූ අතර මේ ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපතිවරයා සමග සහභාගී වූ නිල දූත පිරිස පිළිබඳව විවිධ අසත්‍ය තොරතුරු වාර්තා වෙමින් පවතී.

මෙම සමුළුව වෙනුවෙන් ජනාධිපතිවරයාසමග නිල දූත පිරිසට එක්වූයේ ජනාධිපති බිරිඳ, ජනාධිපතිවරයාගේ නිල වෛද්‍යවරයා, අමාත්‍ය තිලක් මාරපන මහතා සහ ඔහුගේ බිරිඳ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, භාෂා පරිවර්තක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු පමණි.

තවද නිල දූත පිරිසට අයත් නොවූවත් ජනාධිපති මාධ්‍ය අංශයේ විද්‍යුත් හා මුද්‍රිත වාර්තාකරුවන් සහ රජයේ හා පෞද්ගලික මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ද ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් කිහිපදෙනෙක් ද මීට එක්ව සිටිති.

ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට හෝ ඊට සමගාමීව පැවති වෙනත් කිසිදු හමුවකට ජනාධිපති කාර්යාලයේ වියදමින් කිසිදු පුද්ගලයෙක් සහභාගී වී නොමැත.

මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් යන මහත්වරුන් සහභාගී වී ඇත්තේ ආර්ථික සමුළුවට බව ද දන්වා සිටින අතර එම ආර්ථික සමුළුව නියෝජනය කළ කිසිදු පාර්ශ්වයකට ජනාධිපති කාර්යාලය වියදම් දරා නැත.

එබැවින් ඇතැම් මාධ්‍යවල සියයකට අධික දූත පිරිසක් සහභාගී වන බවට පළවන මාධ්‍ය වාර්තා ප‍්‍රතික්ෂේප කර සිටිමු.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :