ලෝක සිනමාවේ ශ්‍රී ලාංකීය නාමය සනිටුහන් කළ අග්‍රගණ්‍ය සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.
ඒ කොලඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
මිය යන විට ඒ මහතා 99 වන වියේ පසුවුණා.
ඉන්දීය ආරයක පැවැති ලාංකීය සිනමාවට ශ්‍රී ලාංකීය අනන්‍යතාවය හදුන්වාදුන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව සිනමාපටයයි මෙරට ලාංකීය සිනමාවේ පැහැදිලි ලකුණු ලෙස නම් කෙරෙන්නේ.
මේ අග්‍රගණ්‍ය කලාකරුවා පිළිබද අප තබන මතක සටහනක්.

ලෝක සිනමාලෝලීන්ගේ දැස් හෙළ සිනමාව වෙත ගෙන ආ ශී‍්‍ර ලාංකේය සිනමාකරුවා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් බව අප අවිවාදයෙන් පිළිගත යුත්තකි. 1956 වසරේදී ඔහු විසින් අධ්‍යක්‍ෂණය කළ ‘රේඛාව’ චිත‍්‍රපටය දේශීය සිනමාවකාශයේ හැරවුම් ලක්‍ෂයක් නිර්මාණය කළ අතර, එය දේශීය සිනමාව වෙත තාත්වික රීතිය ප‍්‍රථමවරට රැගෙන ආවේය. 1960දී ඔහු විසින් අධ්‍යක්‍ෂණය කළ ‘සංදේශය’ චිත‍්‍රපටය තුළින් පළමුවරට ජනපි‍්‍රයවාදී සිනමා රීතියක් දේශීය සිනමාව තුළ ගොඩනගන ලෙස්ටර්, 1964දී එළිදක්වන ලද ගම්පෙරළිය සිනමා නිර්මාණය තුළින් දේශීය සිනමාවට පළමුවෙන්ම කලාත්මක රීතිය හඳුන්වාදෙන ලදී. එබැවින් දේශීය සිනමාවක් පිළිබඳව ඔහුගෙන් තොරව කතාකරන්නට අපට යමක් නොවන බැව් පැහැදිලිය. ඒ, දේශීය සිනමාවේ බොහොමයක් සන්ධිස්ථාන ඔහුගේ ජීවිතය හා බද්ධව පවතින බැවිණි.

ලෙස්ටර් සහ ළමා කාලය

1919 වසරේ අපේ‍්‍රල් පස්වෙනි දින දෙහිවලදී උපත ලද ලෙස්ටර් ජේම්ස් පීරීස්ගේ පියා වෛද්‍ය ජේම්ස් ෆ‍්‍රැන්සිස් පීරිස් මහතා වූ අතර, මව වූයේ ඈන් ගම්රූඞ් විනිෆඞ් ජයසූරියයි. එරිකා, අයිවන් සහ නොයෙල් නමින් සහෝදර සහෝදරියන් තිදෙනෙක් සිටින ලෙස්ටර් රෝමානු කතෝලික මධ්‍යම පාංතික පවුලකට අයත් වූවෙකි. එබැවින්ම නිවෙස තුළ කතාකළ එකම භාෂාව ඉංගී‍්‍රසි විය. එනමුත් ලෙස්ටර්ගේ මිත්තණිය දේශීයත්වය අගය කළ, සිංහල භාෂාව කතාකළ කාන්තාවක් වූ බැවින් ඇයගෙන් සිංහල භාෂාව ඉගෙන ගන්නට ලෙස්ටර්ට අවස්ථාව උදාවිය.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන් සිප්සතර හදාරන්නට වූ කුඩා ලෙස්ටර්ට චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙක් වීමේ සිහිනයක් අහලකවත් නොතිබුණි. එහෙත් සිය පියා විසින් ඔහුට වයස අවුරුදු 11දී කොඩැස්කෝ ප්‍රොජෙක්ටරයක් තෑගි වශයෙන් ලබාදුන් බැවින් එය භාවිත කරමින් චාලි චැප්ලින්ගේ නිහඬ චිත‍්‍රපට හා ඉංගී‍්‍රසී චිත‍්‍රපට නරඹන්නට ඔහු පුරුදු වී ඇත. පාසලෙහි තමන් ඉගෙනගත් පි‍්‍රයතම විෂය ලෙස ඉංගී‍්‍රසි විෂයට ප‍්‍රමුඛත්වය දුන් ඔහු වයස අවුරුදු 17 වනවිට සිය ජීවන වෘත්තීය ලෙස තෝරාගත්තේ ලේඛන කලාවයි. ජනමාධ්‍යවේදියෙක් ලෙස ලේඛන කලාවට පිවිසි ඔහු ප‍්‍රථමයෙන්ම ‘ඩේලිනිවුස්’ පුවත්පතෙහි කලාව සම්බන්ධයෙන් අතිරේකයක් සංස්කරණය කරනු ලැබීය. ඉන්පසුව 1939දීි ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පතට ලේඛනයෙන් දායක වන ලෙස්ටර් එහි ලන්ඩනයේ ශාඛාවෙහි වාර්තාකරුවෙක් ලෙස යාමට අවස්ථාව උදාවූයෙන් 1947දී ඔහු එංගලන්තය බලා පිටත්ව යයි.

එංගලන්තය තුළ අවදි වන ලෙස්ටර් නම් සිනමාකරුවා

ලන්ඩන් නුවර සිනමා සංගම් හා ආධුනික චිත‍්‍රපටකරුවන් බහුලවීම නිසාදෝ එහි ගිය ලෙස්ටර්, හෙරිවර්ඞ් ජෑන්ස් නම් කැමරා ශිල්පියා සමග එක්ව ‘සොලිලොකි’ (Soliloquy – 1949) නම් (‘ඉබේ දෙඬුම’ නම් අර්ථය සහිත) විනාඩි 12ක් පමණ වන කෙටි චිත‍්‍රපටයක් නිර්මාණය කරන ලදී. 1950දී ආධුනික හා පර්යේෂණාත්මක චිත‍්‍රපට නිර්මාණය කරන්නන් වෙනුවෙන් පැවැති විශේෂ සිනමා උළෙලකදී ඉහළම ප‍්‍රවීණතාව පළකරන චිත‍්‍රපටයට හිමිි ‘මිනි සිනමා චැලේන්ජ් කප්’ නම් සම්මානයට ඔහු යෝජනා වන්නේ මෙම කෙටි චිත‍්‍රපටය වෙනුවෙනි.

ඉන් දිරිමත් වූ ඔහු ඊළඟට තැනූ කෙටි චිත‍්‍රපටය වන ‘ළමා වියට ආයුබෝවන්’ (Farewell to childhood – 1950) සඳහා ලොව හොඳම ආධුනික චිත‍්‍රපටය ලෙස බි‍්‍රතාන්‍යයේ දී සම්මාන හිමිකර ගන්නා ලදී. එසේම එය ‘ඇමටර් සයින් වර්ල්ඞ්’ සඟරාව විසින් බි‍්‍රතාන්‍යයේ නිර්මිත හොඳම කෙටි චිත‍්‍රපට 10න් එකක් ලෙස ද නම් කරනු ලැබීය.

හෙළ සිනමාවට රිදි ඉරක් – තාත්වික සිනමාවක්

1952දී යළිත් ලංකාවට පැමිණෙන ලෙස්ටර් වසර තුනකට පසුව (1956දී සිය පළමු සිනමා නිර්මාණය වන ‘රේඛාව’ අධ්‍යක්‍ෂණය කරමින් දේශීය සිනමා වංශකථාවට අමරණීය සිහිවටනයක් එක් කළේය. එතෙක් ඉන්දීය සිනමාවේ අතකොලුවක්ව ගොඩනැගෙමින් පැවැති දේශීය සිනමාවේ දර්ශන තලයන් ඉන්දියානු චිත‍්‍රාගාරයකට පමණක් සීමාවී පැවතිණ. එබැවින් මෙම සිනමා නිර්මාණ තුළ දේශීය උරුමය සහ ලාංකීය අනන්‍යතාවය විදහා දැක්වෙන කිසිදු ලක්‍ෂණයක් දැකගත නොහැකි විය. මේ හිඩැස දකින්නට වූ ලෙස්ටර්, චිත‍්‍රාගාරයෙන් බැහැර වී අප රටේම එළිමහන් දර්ශන තලයන් හා ගැමි තේමාවක් වස්තුවිෂය කරගනිමින් විලි බ්ලේක් හා ටයිටස් තොටවත්තයන් සමග එක්ව රේඛාව නම් වෘත්තාන්ත චිත‍්‍රපටය එළිදක්වන අතර, ඒ තුළින් අපේම යැයි කටපුරා කිවහැකි දේශීය සිනමාවකට මඟ විවර කරන ලදී.

ඉන්දියානු සිනමාවේ දැඩි ග‍්‍රහණයට හසුව සිටි සිංහල පේ‍්‍රක්‍ෂකයන් අතර රේඛාව එදා ජනපි‍්‍රය නොවූවත් ඉන් සිංහල සිනමාවට සිදුවූ බැලපෑම සුළුපටු නොවන්නකි. 1949දී ඉතාලි චිත‍්‍රපට අධ්‍යක්‍ෂ විටෝරියෝ ඩි සිකා (Vittorio De Sica) ගේ ‘Bicycle Thief’’ලෝක සිනමාවට කළ බලපෑමට සමාන බලපෑමක් රේඛාව තුළින් හෙළ සිනමාවට සිදුවූ බව කීම අතිශයෝක්තියක් නම් නොවේ.

‘The Making Rekava’ යන ශීර්ෂ පාඨයෙන් 1957දී ලෙස්ටර්  ‘Sight and Sound’ නම් වූ කීර්තිමත් බටහිර සිනමා සඟරාවට ලියූ ලිපිය ‘A new Chapter: Rekava’ යන මැයෙන් 1975දී සිලෝන් තියෙටර්ස් සමාගමේ 50වෙනි සංවත්සර සමරු කලාපයට එතුමා ලියූ ලිපිය කියවුවහොත්, සිංහල සිනමාව තුළ ඔහු සිදුකළ විප්ලවය කුමක්ද යන්න ඔබට සවිස්තරව දැනගත හැකිවේ.

ජගත් සිනමා සිතියමට ලංකාව රැගෙන ගිය ලෙස්ටර්

ලෝක සිනමාව බිහිවී වසර 50ක් ගතවූ පසු එනම්, 1950 දශකය ආසියාවේ සිනමාව සම්බන්ධයෙන් වූ ජයග‍්‍රාහී දශකයක් විය. එනම්, ලෝක සිනමාව වෙත ආසියානු සිනමාව ගෙනයාමට සිනමාධරයන් තිදෙනෙක්ට මේ දශකය තුළ හැකිවීමයි. ජපානයේ අකිර කුරසෝවා සිය ‘රෂෝමාන්’ (Rashomon – 1951) චිත‍්‍රපටයෙන්ද, ඉන්දියාවේ සත්‍යජිත් රායි(Pather Panchali – 1955)  චිත‍්‍රපටයෙන්ද, ශී‍්‍ර ලංකාවේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘රේඛාව- (1956)  චිත‍්‍රපටයෙන්ද ලෝක සිනමාව වෙත ප‍්‍රවේශ වෙයි. ආසියානු සිනමාවට ආඩම්බරයක් එක්කළ මෙම සිනමාකරුවන් තිදෙනා අතරින් ජීවමානව සිටින එකම සිනමාකරුවා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වීම අප ලද භාග්‍යයකි.

කලාත්මක රීතියක් දේශීය සිනමාව තුළ බිහිකළ ලෙස්ටර්

බොහෝ සිනමාකරුවන් එකම තේමාවක් යටතේ සිනමා නිර්මාණ බිහිකරද්දී, ලෙස්ටර් ඊට වඩා වෙනස් අයුරින් සිතන්නට විය. චිත‍්‍රාගාරයට කොටුව පැවැති සිනමා කැමරාව එළිමහනට ගෙනගිය අයුරින්ම ලාංකේය සිනමාව ලෝකයා අතරට ගෙනයන ප‍්‍රථමයා ලෙස ලෙස්ටර් ඉතිහාසගත වන අතර, රේඛාවෙන් සිය සිනමා චාරිකාව නිමා නොකරයි. ගැමි ජීවිතයේ වූ අව්‍යාජත්වය ග‍්‍රහණය කරගනිමින් ‘ගම්පෙරළිය’,’ අක්කර පහ’ සහ ‘බැද්දේගම’ සිනමා නිර්මාණ බිහිකරන ඔහු ගැමි ජීවිතය සිනමා නිර්මාණ තුළ මැනවින් චිත‍්‍රණය කළේය. මෙම චිත‍්‍රපට නරඹන්නන් තුළ පැහැදිලිවම විමතියක් හටගත හැක්කේ ඉංගී‍්‍රසී අධ්‍යාපනයක් ලබා, ඉංගී‍්‍රසි සාහිත්‍යයෙන් පෝෂණය ලද, චතුර ලෙස ඉංගී‍්‍රසි බස හසුරුවන්නෙක් මෙන්ම එංගලන්තයේ පුවත්පත් කලාවේදියෙකු ලෙස රැකියාවක නිරත ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි පුද්ගලයෙක් සිංහල ජන ජීවිතය මෙතරම් අපූරුවට සිය සිනමා නිර්මාණයන් තුළ චිත‍්‍රණය කළේ කෙසේද යන්නයි. මෙම සිනමා නිර්මාණ තුළින් ඔහු කලාත්මක රීතිය පළමුවෙන්ම දේශීය සිනමාවට හඳුන්වා දුන්නේය.

කෙසේනමුත්, ඔහුගේ මෙම අපූර්ව හැකියාවට ප‍්‍රථමයෙන්ම වටිනාකමක් ජාත්‍යන්තරයෙන් එක්වන්නේ නවදිල්ලි අන්තර්ජාතික සම්මාන උළෙලේදී හොඳම චිත‍්‍රපටයට පිරිනැමෙන සම්මානය වූ ‘ද ගෝල්ඩන් පීකොක්'(The Golden Pea-coke) සම්මානය ‘ගම්පෙරළිය’ චිත‍්‍රපටයට හිමිවීමත් සමගය.  එමෙන්ම 1966දී මෙක්සිකෝවේ ‘අකපුල්කෝ’ ලෝක චිත‍්‍රපට උළෙලේදීි ‘Golden Head of Perlank’ සම්මානයෙන් ද, 1978දී තුන්වෙනි කයිරෝ අන්තර්ජාතික උළෙලේදී හොඳම චිත‍්‍රපටය සඳහා පිරිනැමෙන  ‘අක්නටොන්’ සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබීය.

තවද ඔහුගේ අසහය නිර්මාණ භාවිතය අගයනු වස් ප‍්‍රංශ රජය විසින් ‘Comander of Arts and Lester’ සම්මානයෙන් ද ‘කෑන්ස්’ චිත‍්‍රපට උළෙලේදීි ‘ෆ්‍රෙඞ්රිකෝ පෙලිනි’ ගෞරව සම්මානයෙන් සහ ඉන්දීය රජය විසින් ‘යාවජීව කර්තව්‍ය’ ගෞරව සම්මානයෙන් ද පිදුම් ලැබීය.

උපන් බිමෙන් කිත් පැසසුම්

හෙළ සිනමාව වෙනුවෙන් ඔහු කළ විප්ලවය අගයනු වස් පෙරාදේණිය විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධි දෙකක් පිරිනමන ලදී. මෙරට පැවැති සම්මාන උළෙලවලදී වැඩිම සම්මානයන්ට පාත‍්‍ර වූ අධ්‍යක්‍ෂවරයා ලෙස හැඳින්විය හැකි ලෙස්ටර්, අප රටින් පිරිනමන ඉහළම සම්මානය වන ‘ශී‍්‍ර ලංකාභිමාන’ සම්මානයට ද හිමිකම් කියන ලදී.

2002 අපේ‍්‍රල් පස්වෙනි දින ඔහුට උපහාරයක් ලෙස මුද්දරයක් ද නිකුත් කරන ලදී. 98 වෙනි වියෙහි පසුවන ලෙස්ටර් සිය අවසන් සිනමා නිර්මාණය 2007දීිඅම්මාවරුනේ’ නමින් එළිදැක්වූ අතර එය තම සිනමා ජීවිතයේ අවසාන නිර්මාණය බැව් ප‍්‍රකාශ කර සිටියේය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්‍ෂණය කළ චිත‍්‍රපට

1956 – රේඛාව
1960 – සංදේශය
1964 – ගම්පෙරළිය
1966 – දෙලොවක් අතර
1967 – රන්සළු
1968 – ගොළු හදවත
1969 – අක්කර පහ
1970 – නිධානය
1972 – දැස නිසා
1976 – මඩොල් දූව
1978 – අහසින් පොළොවට
1979 – පිං හාමී
1979 – වීර පුරන්අප්පු
1982 – කලියුගය
1983 – යුගාන්තය
1995 – අවරගිර
2002 – වෑකන්ද වලව්ව
2007 – අම්මාවරුනේ

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :