2020 අපේක්ෂකත්වය නිසා ඒකාබද්ධය දෙදරයිද ?

පසුගිය සිකුරාදා විමල් වීරවංශ මන්ත්‍රීවරයා පුවත්පත් නිවේදනයක් නිකුත් කළේය. ඒ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට නියමිත විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට සහාය දීමට ඒකාබද්ධ විපක්ෂය නිල තීරණයක් නොගත් බව කියමිනි. මෙම සංශෝධනයට කොන්දේසි සහිතව සහාය දෙන බව කියා තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂමය. මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශයකට ප්‍රසිද්ධ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කිරීමෙන් නොනැවතුණ විමල් තමන්ගේ පක්ෂයේ සාමාජිකයන්ට උපදෙස් දී තිබුණේ මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා දැනුවත් කරන ලෙසය.
මහින්ද කළ ප්‍රකාශයකට විරුද්ධව විමල් අදහස් දක්වන්නට ගෙන ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ ඇති වී තිබෙන අර්බුදයක් නිසාය. විමල් සහ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා අතර ඇතිවී තිබෙන නොහොඳ නෝක්කාඩුව මේ වනතෙක් අවසන් වී නොමැති අතර එහි ආරම්භය දැනට මාස ගණනාවක් ඈතට දිව යයි.
බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණ දේශපාලන කටයුතු ආරම්භ කිරීමෙන් පසුව නාමල්ගේ දේශපාලන අනාගතය ගැන තරුණ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ගොස් මහින්ද සමග සාකච්ඡා කර තිබුණි. ඒ අනුව බැසිල් සමග සාකච්ඡා කිරීමට මහින්ද තීරණය කළේය. බැසිල් පැමිණ නාමල්ගේ දේශපාලන අනාගතය ගැන මහින්දට සහතිකයක් දුන්නේය. මේ අතර 2020 ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න ගැන අවසන් තීරණයක් ගැනීමටත් මහින්දට අවශ්‍ය වී තිබුණි. ඒ අනුව ඔහු ගෝඨාභය රාජපක්ෂ හිටපු    ආරක්ෂක ‍ලේකම්වරයා සහ බැසිල් තමන් හමුවට කැඳවා ගත්තේය
“2020 ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාට දෙමුද” මහින්ද විමසුවේය. එයට බැසිල්ගේද විරෝධයක් තිබුණේ නැත. මේ තීරණය පවු‍ලේ රහසක් ලෙස තබාගැනීමට තීරණය විය. එහෙත් එය තවදුරටත් පවු‍ලේ  රහසක් නොවන්නේ මේ ගැන ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ නායකයන්ද දැනුවත්ව සිටින නිසාය. මේ රහස එළියට පැමිණ තිබුණේ එම එකඟතාවයෙන් පසුව බැසිල් තැන තැන ගොස් කර තිබූ කතාවක් නිසාය. බැසිල් කියා තිබුණේ 2020 ජනාධිපතිවරණය ජයගැනීමට නම් දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂවල සහාය ලබාගත යුතු බවත් එය කළ හැක්කේ තමන්ට පමණක් බවත්ය.
මේ ගැන ගෝඨා සිටින්නේ බැසිල් සමග එතරම් හොඳ හිතකින් නොවන බව මෙම තීරුවට කීවේ ඒකාබද්ධ විපක්ෂය     නියෝජනය කරන දේශපාලන පක්ෂයක නායකයෙකි. නාමල්ගේ දේශපාලන අනාගතය ගැන බැසිල් සහතිකයක් දී තිබෙන නිසා මහින්ද ද බැසිල්ගේ පැත්තට වැඩි ඉඩක් වෙන් කර තිබෙන බව එම පක්ෂයේ නියෝජිතයන්ගේ අදහසයි.
“බැසිල් කටයුතු කරන්නේ ඉන්දියාවේ අවශ්‍යතාව අනුවයි. බැසිල් ඉන්දියානු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් සිටින්නේ” නම සඳහන් නොකිරීමේ ‍පොරොන්දුව මත මේ තීරුවට අදහස් දැක්වූ එම නායකයා පැවැසුවේය.
බැසිල් සහ විමල් අතර ගැටුම ඇති වී තිබෙන්නේද බැසිල් ඉන්දියානු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් සිටින බවට විමල් චෝදනා කිරීමත් සමගය. මොවුන් දෙදෙනාගේ ගැටුම තවත් උග්‍ර වන්නේ විමල්ට හිතවත්ව කටයුතු කරන ගුණදාස අමරසේකර වැනි සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්  මහින්දගේ විවේචනයට ලක්වීමත් සමගය.
මේ අතර බැසිල්ගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණේය. බැසිල්ගේ උපන්දින කේක් ගෙඩිය කැපීමට මහින්ද සහ දේශපාලන හිතවතුන් එක්ව සිටියත් බැසිල් එහි පැමිණ සිටියේ නැත.
7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :