20 ඓතිහාසික දේශපාලන අවශ්‍යතාවයක්

20 වැනි සංශෝධනය යනු ඓතිහාසික අවශ්‍යතාවයක් ලෙසම දේශපාලන අවශ්‍යතාවයක් යැයි විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලනය හා ජාත්‍යාන්තර අධ්‍යනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අතුල සමරකෝන් මහතා සඳහන් කරයි. මව්බිම පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත. එම සම්මුඛ සාකච්ඡාව සම්පූර්ණයෙන් පහතින් පල වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයක් ගැන මේ දිනවල කතා බහට ලක් වෙලා තියෙනවා?

20 වැනි සංශෝධනය කියන්නේ ඓතිහාසික වුවමනාවක් වගේම දේශපාලන වුවමනාවක්. විධායක ධුරයට පක්ෂ මතවලට වඩා එම ධුරයේ අහිතකර ප්‍රතිවිපාක සම්බන්ධයෙන් විශාල කතිකාවතක් ඇති වෙලා. 1977 සිට ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විධායක ජනාධිපති ධුරය පිළිබඳව යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආ දවසේ සිට ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ තුළත්, ජවිපෙ ඇතුළු වමේ පක්ෂ තුළත්, සුළු ජාතික පක්ෂ තුළත් මතුවුණු විරෝධතා 20 වැනි සංශෝධනය තුළින් ප්‍රකාශයට පත් වෙනවා. 20 වැනි සංශෝධන කියන්නේ ජ.වි.පෙරමුණේ වුවමනාව පමණක් නියෝජනය කරන ව්‍යවස්ථා සංශෝධනයක් නෙවෙයි. 1978න් පසු දැනට පවතින ව්‍යවස්ථාව සංශෝධනය කර තිබෙනවා. මේ හැම ව්‍යවස්ථා සංශෝධනයක් පිටුපසම තිබුණේ පෞද්ගලික වුවමනාවන්. ජේ. ආර්. ජයවර්ධනට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට වුවමනා වූ විට, පාර්ලිමේන්තුව කාලය දිගු කරගැනීමට වුවමනා වූ විට, මහින්ද රාජපක්ෂ මහතාට තමන්ගේ බලය වැඩි කර ගැනීමට වුවමනා වූ විට සිදුකළ සංශෝධනයි ඒ.

විධායක ජනාධිපති ධුරය හානිකර ආයතනයක් කීම ගැන පැහැදිලි කළොත්?

විධායක ජනාධිපතිවරයා ආණ්ඩුවේ සමස්ත බලය කැටි කරගත් එහි සර්වාධිකාරී නියෝජිතයා බවට පත්වෙලා. සමස්ත රාජ්‍ය බලය, සමස්ත ආණ්ඩුවේ, විධායකයේ, හමුදාවන්ගේ බලය, සමස්තයක් ලෙස විදේශ ප්‍රතිපත්ති මත බල පැවැත්වීමේ හැකියාව, අධිකරණය තමන්ගේ යටතට ගැනීමේ හැකියාව, විදේශ සේවාව තමන්ගේ යටතට ගැනීමේ හැකියාව, රාජ්‍ය පරිපාලන තන්ත්‍රයම තමන්ගේ යටතට ගැනීමේ හැකියාව ආදී රාජ්‍යයේ වැදගත් සියලුම අංශයන් තමන්ගේ යටතට ගැනීමේ හැකියාව විධායක ජනාධිපති ධුරය තුළ තිබෙනවා. ඒ නිසාම විධායක ජනාධිපති ධුරය දේශපාලන විද්‍යාවට විරුද්ධ එකක්. දේශපාලන විද්‍යාව තුළ අප කතා කරන්නේ බලතල වෙන් කිරීමේ න්‍යාය පිළිබඳවයි. මොන්ටෙස්ක්‍යු කියන දාර්ශනිකයා කියනවා ආණ්ඩුවේ තිබෙන ප්‍රධාන අංග තුන වන විධායක, අධිකරණ, ව්‍යවස්ථාදයක ආයතන එකිනෙකට ස්වාධීනව පැවැතිය යුතුයි, එකිනෙකින් සංවරණය හා තුලනය විය යුතුයි කියලා. එහිදී විධායක ජනාධිපති විසින් ව්‍යවස්ථාදායකයට අනිසි බලපෑම් කළ නොහැකි විය යුතුයි. ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය, නීති සෑදීමේ බලය, නියෝජනය කරන ආයතනයි. විධායක ජනාධිපතිවරයාට පුළුවන් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන්, අමාත්‍යවරයකු වශයෙන් තමන්ට අවශ්‍ය සියලුම යෝජනාවන්, නීති සම්පාදනය කර ගන්න පාර්ලිමේන්තුව පාවිච්චි කරලා.

විධායක ජනාධිපතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වීමේ හැකියාවක් නෑ. ඒ ධුරය නීතියට උඩින් ඉන්නේ. විධායක ජනාධිපති ජනතාව විසින් පත් කළ මොහොතේ සිට විධායක ජනාධිපති සමාජයට උඩින් ඉන්නේ. ඔහු කරන පෞද්ගලික වරදකට හෝ විධායක ජනාධිපති ධුරයේ සිදුකරන වරදකට හෝ කිසිම හේතුවක් මත ඔහුට නඩු පැවැරීමේ හෝ ඒවා විවේචනය කිරීමේ අයිතියක් නැහැ.

විධායක ජනාධිපති ඇයි තමන්ගේ බලය පාවිච්චිකොට වංචා දූෂණ නතර කරන්නේ නැත්තේ? ඒක කරන්නේ නෑ. අත්තනෝමතික බලය ආරක්ෂා කරගැනීම විතරයි විධායක ජනාධිපති ධුරයෙන් කෙරෙන්නේ.

ආචාර්ය එන්. එම්. පෙරේරා 1978ට පෙර පෙන්වා දුන්නා විධායක ජනාධිපති ධුරය යම් දවසක මෙරටේ ආඥාදායක පාලකයකු බිහි කරයි කියලා. අපි ජනාධිපති කිහිපදෙනකුම යටතේ දැක්කා ඒ තත්ත්වය ඇති වුණ බව. ජේ. ආර්. ජයවර්ධන, ප්‍රේමදාස, යම් ආකාරයටක වැඩ කළා. මහින්ද රාජපක්ෂ මහතා තුන්වැනි වතාවටත් බලයට පත් වෙන්න උත්සාහ කළා. මේ විදිහට ලංකාවේ සමස්ත දේශපාලන ව්‍යුහය තනි බල කේන්ද්‍රයක් විදිහට මෙහෙයවන ආඥාදායක තත්ත්වයකට රට පත් වුණා. මේක දේශපාලන විද්‍යාවට හා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන ක්‍රමය වෙනස් කර ගැනීමේ වුවමනාව අප හමුවේ තිබෙනවා.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කළ බව කියනවා.

19 කියන්නේ එක්තරා සන්දර්භයකදී මතුවුණු අවශ්‍යතාවක්නේ. එක පැත්තකින් ජනාධිපතිවරයා පත්වුණා පක්ෂයක් නැතුව. පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණේ එජාපයට. මේ තත්ත්වයන් දෙකෙහි බල තුලනයක් තමයි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පේන්නේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපතිගේ බලය කියන තරම්ම අඩු වෙලා නැහැ. අඩු වී තිබෙන්නේ ජනාධිපතිගේ ඇත්ත බලයයි. ජනාධිපතිට මෙරටේ ජනතාවගේ විශ්වාසය නැති වීමයි වෙලා තියෙන්නේ. යම් හෙයකින් එතුමාට තේරුණොත් මා වටා ජනතාව සිටිනවා, මගේ දෘෂ්ටිවාදයට සියලු දෙනාම පක්ෂයි කියලා, එතුමාට පුළුවන් විධායක ජනාධිපති ධුරයේ තිබෙන අනිසි බලය පාවිච්චි කරලා සමස්තයක් විදිහට ආණ්ඩුව පාලනය කරන්න. අද එතුමාට ආණ්ඩුව පාලනය කරන්න බැරි එතුමා යම් මොහොතක බයවෙන්න පුළුවන් එතුමාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එයි කියලා. ඒ නිසා විධායක ජනාධිපති ධුරයේ බලය මැඬපැවැත්වී තිබෙනවා. එහෙත් විධායක ජනාධිපති ධුරය කියන ආයතනයේ බලතල අඩු වෙලා නැහැ.

19 වැනි සංශෝධනය හරහා කළ බල තුලනය ප්‍රමාණවත් නෑ කියලද කියන්නේ?

19 වැනි සංශෝධනයෙන් ඇති කරපු බල තුලනය ප්‍රමාණවත් නෑ. ඒ නිසා ඕනෑම මොහොතක මේ රටේ අත්තනෝමතික පාලනයකට පුළුවන් විධායක ජනාධිපති ධුරය යොදාගෙන නැවත ව්‍යසනකාරී තත්ත්වයකට රට ගෙන යන්න. ශ්‍රී ි ලංකාවට දිගින් දිගටම අවශ්‍ය වෙන්නේ අත්තනෝමතික පාලකයන්ද? අප හැමවෙලේම කෝටුවෙන් මර්දනය කරන ජනතාව දක්කන පාලකයෙක්ද නැත්නම් මෙරට සිවිල් සමාජයට පිළිගත හැකි එකඟතාවකින් බලය මෙහෙයවන පාලකයෙක්ද අවශ්‍ය කියන ගැටලුව තියෙනවා.

20 වැනි සංශෝධනයෙන් විය හැකි වෙනස් වීම් ගැන කීවොත්?

විධායක ජනාධිපති ආණ්ඩුවේ බලපෑමට යටත් කළ යුතුයි. ආණ්ඩුවට කැබිනට් එකට වගකියන ජනාධිපතිවරයකු පත්කළ යුතුයි. ඔහු විය යුත්තේ රාජ්‍යයේ ප්‍රධානියා පමණයි. 20 වැනි සංශෝධනය අනුව විධායක ජනාධිපති රාජ්‍යයේ ප්‍රධානියා, සන්නද්ධ අංශවල ප්‍රධානියා, නමුත් ඔහු ආණ්ඩුවේ ප්‍රධානියා නෙවෙයි. ඔහුට විදේශ තානාපතිවරුන්,

ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඇතුළු අනිකුත් ආයතනවලට තනතුරු පත්කිරීමේදී ඔහු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතුව පවතිනවා. මේක හොඳ තත්ත්වයක්. 20 වැනි සංශෝධනයේ ධනාත්මක පැතිකඩ බොහෝමයක් තිබෙනවා, දැනට පවතින අත්තනෝමතික බලතල මර්දනය කර විධායක ජනාධිපති ධුරය ස්වාධීන ආයතනයක් කරනවා. එම ස්වාධීන ආයතනය, පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර විධිමත් සම්බන්ධතාවක් ගොඩනඟාගෙන තිබෙනවා. මේ ආයතන තුන අතර තිබෙන අනේ‍යාන්‍ය සම්බන්ධතාව නිසා තමයි ප්‍රජාතන්ත්‍රවාදයට යහපතක් සිදු වෙන්නේ. එහිදී අදහස් වෙන්නේ නෑ විධායකය අහෝසි කරනවා කියලා. විධායක ජනාධිපති ධුරයේ ආඥාදායකයයි අහෝසි වෙන්නේ.

විධායකය තිබෙනවා. ජනාධිපතිවරයා ඉන්නවා. ඔහුට විධායක බලතල තිබෙනවා. හැබැයි ඔහු පාර්ලිමේන්තුවට හා ආණ්ඩුවට වගකියන්න ඕනෑ. එවිට විධායකය තුලනය වෙනවා.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බලපෑම් ඇතිවිය හැකි බව කියනවා?

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමක් නොව බලය තුලනය කිරීමක් කරන්නේ. 20 වැනි සංශෝධනයෙන් ජනාධිපති ධුරය නැති වෙන්නේ නෑනේ. ඔහු ආණ්ඩුවේ ප්‍රධානියා වීම පමණයි අහෝසි වෙන්නේ. ජනාධිපතිවරයාට පළාත් සභා මත තිබුණු බලතලවලට කිසිම බලපෑමක් වෙන්නේ නෑ මෙහිදී. එතුමාට පුළුවන් පළාත් සභාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව යනවා නම් ආණ්ඩුකාරවරයා හරහා පළාත් සභාව විසුරුවන්න පුළුවන්. ඒ බලතල අහෝසි කරලා නෑ. ආණ්ඩුවේ ප්‍රධානියා වීම, කැබිනට් මණ්ඩලයේ ඇමැති කෙනකු වීම, කැබිනට් මණ්ඩලය වගකීමේ බලය අහෝසි කිරීමයි මෙතැනදී වෙන්නේ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් රට බෙදෙන බව එක් පිරිසක් කියනවා?

ඒවා දේශපාලන විවේචනවලට වඩා අවස්ථාවාදී විවේචන. අප කැමැති වුණත් අකැමැති වුණත් ලංකාව දැන් වාර්ගික වශයෙන් බෙදිලා තිබෙන්නේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් තවදුරටත් රට එක්සත් කිරීම සඳහා අවස්ථාවක් ලැබීමයි වෙන්නේ. රට එකතු කිරීමට කළ හැකි හොඳම දේ පාර්ලිමේන්තුවට බලය වැඩි කිරීමයි. පාර්ලිමේන්තුව දෙමළ, මුස්ලිම්, සිංහල සියලු නියෝජිතයන් එක් වී තමන්ගේ අගමැතිවරයා පත් කරගන්න පුළුවන්නම් එතන නේද ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවෙන්නේ. විධායක ජනාධිපතිවරයාට රට මෙහෙයවීමේ බලය ඒ විදිහටම තිබෙනවා.

ආචාර්ය එන්. එම් පෙරේරා කීවේ විධායක ජනාධිපති ධුරය නිසා මේ රටේ ස්වෛරීත්වයට විශාල තර්ජනයක් ඇති වෙනවා කියලා. විධායක ජනාධිපතිවරයා යටතේ තමයි මේ රටට ඉන්දියාව බලපෑම් කළේ. සිරිමාවෝ බණ්ඩාරනායක යටතේ මේ රටට ඉන්දියාව බලපෑම් කළාද? සියලුම අගමැතිවරුන් යටතේ ඉන්දියාව අනිසි බලපෑම් කළේ නෑ. ඉන්දියාව සමඟ පුරවැසි පනතක් ඇති කරගැනීමට, වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න, නොබැඳි ප්‍රතිපත්තිය අනුගමනය කරන්න හැකි වුණා. නමුත් ජේ. ආර්. ජයවර්ධන විදේශ ප්‍රතිපත්තියම තමා යටතට අරගෙන අත්තනෝමතිකව වැඩ කරලා ඉන්දියාව තරහ කරගත්තා, අනවශ්‍ය විදිහට ඇමෙරිකාවට ගැති වුණා. විධායක ජනාධිපතිවරු යටතේ ලංකාව ජාත්‍යන්තර අපකීර්තියට පත්වුණා, ලංකාවේ ස්වාධිපත්‍යයට විශාල තර්ජනයක් ඇති වුණා.

පාර්ලිමේන්තුවට හා ජනාධිපතිවරයාට බලය ලැබෙන්නේ ජන වරම් දෙකකින්. 20 වැනි සංශෝධනය තුළින් ජනාධිපති පත්වෙන්නේ පාර්ලිමේන්තුවෙන්. ජනතාව පාර්ලිමේන්තුවට ලබා දෙන ඡන්දය තුළින් විධායකය පත් කරගන්නේ. ඒක යුක්ති සහගතයි. ඒ නිසා විධායක ජනාධිපති ධුරය රටට හා පාර්ලිමේන්තුවට වගකියන ධුරයක් බවට පත්වෙනවා. එම ධුරයේ වගවීම වැඩි වෙනවා. එය ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාවරභාවයට හේතු වෙනවා.

සමහරුන් පවසන්නේ ඒකාධිපති පාලනයක් රටට අවශ්‍යයි කියලා?

වර්තමාන ලෝකය තුළ තවදුරටත් ඒකාධිපති අත්තනෝමතික පාලකයන් වලංගු නැහැ. මේ තත්ත්වයන් සාමාන්‍ය ජනතාවට තේරෙයිද කියලා අහන්න පුළුවන්. එහෙම තේරෙයි කියලා හිතන්න බෑ. තේරෙන්න අවශ්‍යත් නෑ. තේරෙන පිරිසක් ඉන්නවානේ මේ රටේ වෘත්තිකයන්, බුද්ධිමතුන්, උගතුන්. ඒ ආශ්‍රයෙන් මේ වටා සාධනීය ලෙස පෙළ ගැසිය යුතුයි.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish