ටෙලි නාට්‍ය බදු ඉවත් කිරීම ව්‍යාජ රංගනයක් පමණක් බව නිදහස්‌ කලා සන්ධානයේ කැඳවුම්කරු ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ සුදත් රෝහණ ප්‍රකාශ කරනවා.

එම සන්ධානය වෙනුවෙන් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්.

පසුගිය ජුනි 06 වැනිදා ජනාධිපතිවරයා හා කලාකරුවන් පිරිසක්‌ අතර සිදුවුණු සාකච්ඡාවකින් පසු කලාවට අහිතකර බදු අහෝසි කළ බවට පළවන වාර්තා අපි පිළිකුලින් හා ශෝකයෙන් යුතුව ප්‍රතික්‌ෂේප කරන්නෙමු. හාස්‍යය මතුවන්නේ පාලකයන් ජනතාව ඉදිරියේ රඟදක්‌වන විසුළු සහගත රංගනය දුටු විටය. ශෝකය ඇතිවන්නේ ඇතැම් කලාකරුවන්ද ඒ ව්‍යාජ රංගනයට රැවටී සිටින නිසයි .

* පනත සංශෝධනය නොකර විහිළු කිරීම

රඳවා තබා ගැනීමේ බද්ද මගින් අසාධාරණයක්‌ සිදුවන බව පිළිගන්නේ නම් කළ යුතුව තිබුණේ රූපවාහිනී නාලිකාවලට උපදෙස්‌ නිකුත් කිරීමේ ව්‍යාජ රංගනය නොව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනයට පියවර ගැනීමයි. මන්ද පනතේ විධිවිධානයක්‌ මගින් හැර වෙනත් කිසිදු නීතියකින් හෝ ක්‍රමවේදයකින් බදු නිදහස ලබාදිය නොහැකි බවට එම පනතේ 9 වැනි වගන්තියේ 2 වැනි උප වගන්තියෙන් ප්‍රකාශ වන බැවිනි. එනම් ජනාධිපතිවරයාගේ නියෝගයකින් හෝ වෙනත් නිලධාරියෙකුගේ ගැසට්‌ නිවේදනයක්‌ මගින් හෝ සහන ලබාදිය නොහැක. මෙවැනි විධානයක්‌ සහිත බදු පනතක්‌ ඉතිහාසයේ කවදාවත් නොතිබූ බවද මෙහිදී සඳහන් කළ යුතුය. එසේ නම් මාධ්‍ය ආයතනවලට ලියුම් ලියා බදු අහෝසි කළා යෑයි කීම විහිළුවක්‌ ද ? ව්‍යාජයක්‌ ද ?

* කබලෙන් ලිපට

උක්‌ත සාකච්ඡාවෙන් පසු ටෙලිනාට්‍ය සඳහා 14% බද්ද රඳවා ගැනීමෙන් වළකින්නැයි රූපවාහිනී නාලිකාවලට කෙරුණු නියෝග කිරීම මගින් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ සහනයක්‌ ලැබීම නොව එකී ටෙලිනාට්‍යය සඳහා එතෙක්‌ නිෂ්පාදකවරයාට තිබුණු හිමිකම අහිමි වී යැමයි.

ටෙලිනාට්‍යයක්‌ රූපවාහිනියේ ප්‍රදර්ශනය කිරීමේදී සිදුවන්නේ එහි ප්‍රකාශන අයිතිය භාවිතය හෝ භාවිත කිරීමට ඇති අයිතිය අදාළ රුපවාහිනී නාලිකාවට ලබාදීමයි . 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 209 වගන්තියේ Ñරාජ්‍ය භාගය Ñ යන්න අර්ථ නිරූපණය කරන (ආ) උප වගන්තිය අනුව ටෙලිනාට්‍යයක ප්‍රකාශන අයිතිය භාවිතය හෝ භාවිත කිරීමට ඇති අයිතිය ලබාදීම වෙනුවෙන් හිමිවන මුදලින් 14% රඳවා තබාගැනීමේ බද්දට යටත්වෙයි. ඒ අනුව 14% රඳවා ගැනීමේ බද්ද අය නොකෙරෙන්නේ නම් නිරායාසයෙන්ම නිෂ්පාදකවරයාට නිර්මාණයේ හිමි කම අහිමිවේ. එය විසඳුමක්‌ නොව කබලෙන් ලිපට දැමීමකි.

* නිර්මාණ බිල්ලට ගෙන බද්දෙන් නිදහස්‌ කිරීම

එසේම අදාළ සාකච්ඡාවෙන් පසු දේශීය ආදායම් කොමසාරිස්‌වරයා මාධ්‍ය හමුවේ කියාසිටියේ ටෙලිනාට්‍ය විකාශන අයිතිය, චිත්‍රපට ප්‍රදර්ශන අයිතිය හෝ ග්‍රන්ථවල ප්‍රකාශන අයිතිය, ප්‍රදර්ශකයෙකුට හෝ වෙනත් පාර්ශ්වයකට අලෙවි කිරීමේදී පමණක්‌ 14% රඳවා තබා ගැනීමේ බද්ද මින් ඉදිරියට අය නොකෙරෙන බවයි. එනම් නිර්මාණය බිල්ලට දී බද්දෙන් නිදහස්‌ වීමට නිෂ්පාදකයාට සිදුවන බව දේශීය ආදායම් කොමසාරිස්‌වරයාගේ ප්‍රකාශයෙන් තවදුරටත් තහවුරු වේ. එසේම ජුනි 06 වැනිදා සාකච්ඡාවෙන් අමුතුවෙන් කිසිදු සහනයක්‌ ලැබී නැති බවද තහවුරු වේ.

කලින් සඳහන් කළ පරිදි පනත සංශෝධනය නොකර, පනතේ විධානයන්ට පිටින් කිසිදු සහනයක්‌ ලබා දීමට කොමසාරිස්‌වරයාට තබා ජනාධිපතිවරයාටවත් නොහැක.

‘ටෙලිනාට්‍ය බද්ද අහෝසියි’ යන ව්‍යාජ ප්‍රවෘත්තියත් සමඟ චිත්‍රපට, ග්‍රන්ථකරණය, ප්‍රසාංගික කලා ඉසවු සංවිධානය ආදී වශයෙන් පොදුවේ කලා ක්‌ෂේත්‍රයට හා කලාකරුවන්ට එරෙහි බදු දඩයම සමාජයෙන් වසන් කිරීමට තරම් රජය කපටි වූ බවද අපි අවධාරණය කරමු. ඒ උගුලට පාලකයන්ගේ ගැත්තන්වූ කලාකරුවන්ද හසුවීම පිළිබඳ අපට ඇත්තේ කනගාටුවකි. ඉන්ධන මිල ඉහළ යැමෙන් කර්මාන්තය රැක ගැනීම සඳහා පාලකයන්ගේ ගැත්තන් නොවී එක්‌සත් වුණු සහෝදර ධීවර ජනතාව හා බස්‌ හිමියන්ගෙන් පාඩම් උගතයුතු බවට ඒ කලාකරුවන්ට යෝජනා කර සිටිමු.

නිදහස්‌ කලා සන්ධානය කැඳවුම්කාර පාර්ශවය වශයෙන් කටයුතු කරමින් බදු දඩයමට එරෙහිව සියලු කලාකරුවන් ඒකරාශී කිරීම නිසා කලබල වුණු පාලකයන් ජුනි මස 06 වැනිදා පැවැත්වුයේ හුදු මාධ්‍ය සංදර්ශනයකි . 14% රඳවා තබා ගැනීමේ බද්ද යනු මේ බදු දඩයමේ එක්‌ පියවරක්‌ පමණි. පාලකයන් මාධ්‍ය සංදර්ශනයේදී වසන් කළ තවත් හානිකර බදු විධිධාන රැසක්‌ ඇත. ඒ බදු ඉවත් කර ගැනීමටත්, ඉකුත් රජය කලාව වෙනුවෙන් ලබා දී තිබූ සියලු සහන ලබාගැනීමටත් වහා කටයුතු කළ යුතුය. මන්ද මේ මොහොතේත් කලාවට හා කලාකරුවන්ට එරෙහි බදු ක්‍රියාත්මක බැවිනි.

එම බදු ඉවත් කර කර්මාන්තය රැක ගැනීමටත්, ප්‍රමිතිගත කලා සම්ප්‍රදායක්‌ බිහිකර ශ්‍රී ලාංකේය රසික ප්‍රජාවට සාධාරණය ඉටු කිරීමටත් කලාකරුවන් පෙරටු කරගත් මහා බලවේගයක්‌ නිර්මාණය කිරීමට අප සූදානම්ය.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.