ඥානසාර හිමියන් වෙනුවෙන් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රිධර්ම මහා සංඝ සභාව

“ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිරයන් වහන්සේ අප කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රිධර්ම මහා සංඝ සභාවට අයත් භික්ෂුවකි. උන්වහන්සේ පිළිබඳ අප ඉතා අවබෝධයෙන් පසුවෙමු. වරින්වර අප එම ස්ථවිරයන් වහන්සේට අවවාද කරන ලද අතර, උන්වහන්සේ විසින් එම අවවාද ඉතා ගෞරවයෙන් පිළිගන්නා ලදී.

ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිරයන් වහන්සේ එදිනෙදා ශාසනික කටයුතුවලදී මධුර දේශනා පැවැත්විය හැකි විවිධ දක්ෂකම් සහිත උගත් තරුණ යතිවරයෙකි. එහෙත් උන්වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලබන ඇතැම් කටෝර හා කර්කශ ප්‍රකාශයන් අපිද අනුමත නොකරමු.

කෙසේ වෙතත් උන්වහන්සේ විසින් හෝමාගම අධිකරණයේදී සිදු කළ වැරැද්ද සම්බන්ධයෙන් ගරු අධිකරණය මගින් ලබාදී ඇති තීන්දුව පිළිබඳ අපි මෙහිදී කතා නොකරමු. භික්ෂුවක් වුවද රටේ පවත්නා නීතියට අවනත විය යුතුය. උන්වහන්සේ වෙනුවෙන් නැවත අභියාචනා කිරීමේ හැකියාවද උන්වහන්සේ වෙත ඇත.

ශ්‍රී ලංකාවේ දැනට ස්ථාපිත නීතියට අනුව බෞද්ධ භික්ෂුවක එම තත්ත්වයෙන් පහකොට චීවරය ඉවත් කිරීමේ බලය ඇත්තේ උන්වහන්සේ පැවිද්ද හා උපසම්පදාව ලද උන්වහන්සේ අයත් සංඝ සභාවටය. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාටද එබඳු බලයක් නොමැති අතර, අදාළ නිකායේ මහානායක ස්ථවිරයන් වහන්සේගේ නියෝගය මත පමණක් එසේ කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට හැකියාව තිබේ.

එසේ වුවද, චීවරය ඉවත් කිරීමට තරම් පරාජිත තත්ත්වයකට පත්වුව හොත් මිස කිසිවිටෙකත් උන්වහන්සේ දරනු ලබන චීවරය ඉවත් කළ නොහැකිය. තවද චීවරය අත්හැරීම සඳහා ස්වකීය අභිමතය ඇත්නම් ඒ පිළිබඳ විනයානුකූල පියවරක්ද චීවරය දරන්නාට ඇත. ඒ අනුව ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිරයන්ගේ චීවරය ඉවත් කිරීම සඳහා අප සංඝ සභාව වෙත මෙතෙක් කිසිදු පැමණිල්ලක් ලැබී නැත. ඥානසාර ස්ථවිරයන්ටද තම චීවරය ඉවත් කර ගැනීම සඳහා කිසිදු අවශ්‍යතාවක් නැති බව අපගේ විශ්වාසයයි.

භික්ෂුවක විසින් පරුෂ වචනයෙන් කෙනෙකුට බැණවැදීම දුක්‍කටාපත්තියකි. නැතහොත් පාචිත්‍යය ඇවැතකි. බෞද්ධ විනය අධිකරණයට අනුව එබඳු ඇවැතක් තමන් අතින් සිදුව ඇති බව අවබෝධ වුවහොත් ඒ බව මහා සංඝරත්නයට දැන්විය යුතුය. එනම් නොකළ යුතු වරදක් තමන් විසින් සිදුකර ඇති බවයි. එම අවස්ථාවේදී එම භික්ෂුව ආපත්ති දේශනයෙන් තමන් කළ වැරැද්ද වෙනත් භික්ෂුවකට ප්‍රකාශ කොට වරද පිළිගෙන අවබෝධ කර ගැනීමෙන් නිවැරදි විය හැකිය. එසේම අදාළ ප්‍රකාශය මගින් තමන් විසින් අගතියට පත්කොට ඇති තැනැත්තා හමුවී සමාව ගෙන එය ඉවත් කරගත හැකිය. එසේ නොමැති නම් පණිවුඩකරුවෙකු මගින් සිදු වූ වරද පිළිගෙන පණිවුඩයක් යැවීමෙන් නිවැරදි විය හැකි ඉතා සරල තත්ත්වයකි.

ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිරයන් විසින් කරන ලද උක්ත වරදට දඬුවමක් ලෙස ගරු අධිකරණය මගින් උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් නියෝගයක් ලබාදී නොමැතිව තිබියදීත් ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිරයන්ගේ චීවරය බන්ධනාගාරය තුළදී උන්වහන්සේ අයත් සංඝ සභාවේ අවසරයකින් තොරව ඉවත් කිරීමට කටයුතු කිරීම පිළිබඳ අපගේ බලවත් අප්‍රසාදය ප්‍රකාශ කරමු. උන්වහන්සේගේ අකැමැත්තෙන් චීවරය ඉවත් කර යම් කාලයක් සිරගතකොට තැබීමෙන් භික්‍ෂුත්වය රැක ගැනීම පිළිබඳ විනයානුකූල ගැටලු මතුවිය හැකිය.

එබැවින් වසර 2500ක ඉතිහාසය තුළ ස්ථාපිත බෞද්ධ භික්ෂු සංවිධානයේ පාරම්පරික උරුමයට හා සංස්කෘතියට හානි නොකරන ලෙස දන්වන අතර, වහාම ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිරයන් වෙතින් ඉවත් කරන ලද චීවරය උන්වහන්සේ වෙත ලබාදෙන ලෙස කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව වෙනුවෙන් ශාසනාලයෙන් දන්වමි”

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.