ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපති ලෙසින් තේරී පත්වුවහොත් “හිට්ලර් කෙනෙක් වෙලා හරි” රටේ නිසි පාලනයන් පවත්වාගෙන යන මෙන් අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුකළ අනුශාසනාව මේ වන විට දැඩි සංවාදයකට ලක්ව තිබෙනවා.
“ඔබතුමා හිට්ලර්වරයෙක් විදියටත් හඳුන්වල තියෙනව. ඉතින් අපි මතක් කරනවා හිට්ලර් කෙනෙක් වෙලා හරි මේ රට හදන්න කියන එක තමයි මහා සංඝරත්නය අවසාන වශයෙන් මතක් කරන්නේ,” යනුවෙන් වෙඬරුවේ උපාලි අනුනාහිමියන් ඊයේ දිනයේදී ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් අද පාර්ශව රැසක්ම අදහස් පල කළා.
“මිලිටරි පාලනයක් හරි අරගෙන ගිහින් මේක හදන්න කියල නැවතත් මතක් කරනවා,” යනුවෙන් අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියන් පළ කළ අදහස් පිළිබද පළමුවෙන්ම අදහස් දක්වා තිබුණේ දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක මහතායි.
ඔහු සදහන් කර ඇත්තේ මෑත යුගයේ තමන්ට අසන්නට ලැබුන “භයානකම සහ ලැජ්ජා සහගතම” ප්‍රකාශය මෙය බවයි.
අද පැවැති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී මේ පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමාන් මහතාගෙන් විමසා සිටි අතර ඔහු ප්‍රකාශ කළේ එය සමස්ථ භික්ෂුන් වහන්සේලාගේ මතය නොවන බවයි.
මේ අතර දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සමූල ඝාතනය කළ, “සිත් පිත් නැති කුරිරු ඒකාධිපතියෙකු” ලෙසින් සමස්ත ලෝකය විග්රහ කරන ඇඩොල්ෆ් හිට්ලර් වැන්නකුගේ තිබිය හැකි යහපත් ගුණාංග කවරේ දැයි බීබීසී සිංහල සේවය අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියන්ගෙන් විමසීමක් කර තිබෙනවා.
එහිදී උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ “එහෙම හානිකර පුද්ගලයෙක් නිර්මාණය කරන්න කියන එක නෙවෙයි කියන්නේ. රට, ජාතිය, ආගම කොයි විදියටද හැදෙන්න ඕන කියන එක තමයි අපි කියන්නේ” යනුවෙනි.
“මේ බොදු ජනතාවට යහපතක් වෙන විදියට දැහැමෙන්, සෙමෙන් වගේම අණ, බණ දෙකම තියෙන්න ඕන. අණ කියන එක හානිකර තත්වයක් නෙවෙයි. හොඳ තීන්දු අරගෙන රටට යහපතක් වෙන්නයි ඕන,”“අපි කියන්නේ දහම පමණක් නොවෙයි, ටිකක් රටට හිතකර තීන්දු, තීරණ විදියට ගන්නවනම් හොඳයි කියන එක.”
මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද අද ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර පළ කළේ මේ ආකාරයටයි.