සිංගප්පූරුවේ හැදියාව අගමැති ලෝකයට කියයි

ගෝලීය කාලගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවට පසුගිය සමයේ දැඩි බලපෑම් එල්ලවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ සිංගප්පූරුවේ දී අද ආරම්භ වූ 6 වැනි ජගත් පුරවර සමුළුව, ජාත්‍යන්තර ජල සතිය හා පිරිසුදු පරිසර සමුළුව යන සමුළුවල ආරම්භක සැසිවාරයේ ප්‍රධාන දේශනය පවත්වමින් .

මෙහිදී සිංගප්පූරුව පසුගිය සමයේ අත්කරගත් දියුණුව හා ඊට හේතුවූ කරුණු පිළිබදවද අග්‍රාමාත්‍යන්‍රයා මෙසේ කරුණු පැහැදිලි කළා.

 “ මාගේ සිහියට නැගෙන්නේ 1965 දී පමණ මා පාසල් යන අවදියේ ඡායාරූප හා වාර්තා චිත්‍රපට ඔස්සේ දුටු සිංගප්පූරුවයි. එය, විරැකියාවෙන් මෙන්ම දරිද්‍රතාවෙන් පෙළුණු ජනතාවගෙන් තදබද වුණු මුඩුක්කු ගෙවල් ගොන්නක් මැද, යටත් විජිත පාලකයන් ඉදිකළ දැවැන්ත ගොඩනැගිලි කිහිපයක් නැගී සිටි තවත් එක් ආසියානු නගරයක් පමණයි.

ඊට 50 වසරකට පසු අද දිස්වන සිංගප්පූරුව මර්සර් වාර්තාවන්ට අනුව ආසියාවේ ඉහළම ජීවන තත්ත්වය ඇති නගරයයි. මේ ගුණාත්මක බව ඔවුන්ට ඉබේ ලැබුණු එකක් නොවන බව අපි කවුරුත් දන්නවා.  ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයාගේ දුරදැක්ම හා අධිෂ්ඨානය හේතුවෙන් සිංගප්පූරුව උසස් සුහුරු, ආරක්‍ෂිත හා ජනජීවී නගරයක් බවට පත්වුණා. දිවාකල ,රාත්‍රියේ වේවා කාන්තාවකට කිසිදු උපද්‍රවයකින් තොරව මහ මග බැස යන්නට හැකි පරිසරය සිංගප්පූරුවේ ගුණාත්මක භාවයට කදිම උදාහරණයක්.

ආසියානු නගර දියුණු වෙමින් පැවතුණත්, මර්සර් සමීක්ෂණයේ ජීවන තත්ත්වය ඉහළ නගර 50 අතරට ගැනෙන්නේ ආසියානු නගර තුනක් පමණයි. සිංගප්පූරුව, තෝකියෝව සහ කෝබේ නගරය. දකුණු ආසියානු නගර අතර කොළඹ ඉහළින්ම සිටියත්, නගර 231 ක් අතුරින් අපට ලැබී ඇත්තේ 137 වැනි ස්ථානයයි. ආසියානු නගර 50ක් පමණ තියෙන්නේ දර්ශකයේ පහළම නගර 50 අතරේයි.

පසුගිය කාලයේ ගෝලීය දේශගුණ වෙනස්කම් නිසා ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය අඩු වී තියෙනවා. ස්වාභාවික ආපදා තත්ත්ව ඉහළ යමින් තියෙනවා. නිරිතදිග ප්‍රදේශයන්හි ජනගහන, කාර්මීකරණ හා නාගරීකරණ වර්ධනය නිසා මේ තත්ත්වය තව තවත් වර්ධනය වී තියෙනවා. ප්‍රතිඵලය අනතුරුදායකයි.

නිරන්තර ගං වතුර හා නාය යෑම් නිසා ජීවිත, ආදායම් මාර්ග හා නිවාස දේපළ විනාශ වෙනවා. ජලය සතුරෙක් බවට පත් වෙලා. 2004 සුනාමියත් සමග සයුරත් සතුරු වුණා. මේවා අප හමුවේ ඇති බිය හා අනතුරු. අප මේ ජල ප්‍රශ්නයෙන් ගොඩඑන්නේ කොහොමද?

තොරතුරු ග්‍රහණයට තාක්‍ෂණික සන්නිවේදන උපකරණ භාවිතය, තොරතුරු සන්නිවේදනය හා ලබා ගැනීමට නව පරම්පරාවේ අධිවේගී අන්තර්ජාල පහසුකම් භාවිත කිරීම, දත්ත විශාල වශයෙන් භාවිත කරමින් තීන්දු ගැනීම උදෙසා නිර්මාපිත බුද්ධි තොරතුරු ලබා ගැනීම ආදිය අද මිනිසුන් අතර සිදු කෙරෙන්නේ මානව සබඳතා මත නොවෙයි.

මෙවැනි අංග බිලියන 35ක් පමණ අද අන්තර්ජාලය හා සම්බන්ධයි. ලෝක ප්‍රකට තොරතුරු තාක්‍ෂණ ආයතනයක් වූ සිස්කෝ සිස්ටම්ස් පවසන්නේ 2020 වන විට මේ ප්‍රමාණය බිලියන 50 දක්වා ඉහළ නැංවෙන බවයි. එය අන්තර් ජාලය හා බැඳුණු පුද්ගල ප්‍රමාණයට වඩා වැඩියි. අද අන්තර්ජාලයේ ඇප්ස් බිලියන 25ක් භාවිත කරන පුද්ගල සංඛ්‍යාව බිලියන 4 යි.”

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :