LPL කිරුළ ‘ජැෆ්නා කිංග්ස්’ ට

පිට පිටම දෙවැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ශූරයින් ලෙස කිරුළු පැළඳීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ  සමත්වූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දෙවැනි වතාවටත් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී ගෝල් ග්ලැඩියේටර් පිලට එරෙහිව ලකුණු 23 ක ජයක් වාර්තා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් කෝටි 2 ක ජය මල්ලකටද හිමිකම් කීය.

ජැෆ්නා කිංග්ස් පිල ලබා දුන් ලකුණු 202 ක ඉලක්කය හඹා යෑමේදී ග්ලැඩියේටර් පිලේ ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් පන්දු 26 කදී  ලකුණු 63 ක වේගවත් ආරම්භයක් ලබා දීමට සමත් වුවත්, ඉන් පසු පිටියට පිවිසි කිසිවකුටත් වගකීමක් ගෙන පන්දුවට පහර දීමට නොහැකිවීම කණගාටුවෙන් වුවද දෙවැනි වතාවටත් අනුශූරතාවයෙන් පමණක් සෑහීමකට පත්වීමට ගෝල් ග්ලැඩියේටර් පිලට සිදුවිය.

මොවුන් දෙදෙනාගේ වේගවත් ආරම්භය ප්‍රධාන කොට පවර් ප්ලේ පන්දුවාර 6 දී ලකුණු 81 ක් රැස් කර ගැනීමට ග්ලැඩියේටර් පිලට අවස්ථාව උදාවිය. මෙය එල්.පී.එල්. තරග ඉතිහාසයේ පවර් ප්ලේ අවස්ථාවකදී වාර්තා වුණු ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවටද පත්විය.

කඩුලු අතර දිව යෑමේදී වූ දවා ගැනීම් සහ ලැබුණු උඩපන්දු සියල්ල ඒ ආකාරයෙන්ම ග්‍රහණය කර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබීම නිසා ඉලක්කය හඹා යෑමේදී ග්ලැඩියේටර් පිලට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 178 ක් පමණි.

පුවත යවන්න