STF නිල ඇඳුම වෙනස් කරන්න මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

ජනාධිතිපති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාව සිටිය දී ඔහුගේ පෞද්ගලික නිවස ආසන්නයේ රාජකාරියේ යෙදී සිටි මාධ්‍යවේදීන් පිරිසකට පහර දීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ සෘජුවම වගකිව යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි විශ්‍රාමික විනිසුරු රෝහිණී මාරසිංහ අවධාරණය කරන්නේ එම පහරදීම සම්බන්ධයෙන් විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිය කොමිසමට ලබාදුන් සාක්ෂියේ විශ්වසනීයත්වය පිළිබඳව බරපතල සැක සංකා මතු වන බවයි.

මෙහිදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් ජේෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ පවසා ඇත්තේ තමන් මෙම පහරදීම සම්බන්ධයෙන් කිසිවක් දැන් නොසිටි බවයි.

මෙම සිදුවීම් හටගත් අවස්ථාවේ දී ඒ අසල රාජකාරියේ නිරතව සිටි මාධ්‍යවේදීන්ගෙන් පොලිසියට හෝ ඔවුන්ගේ රාජකාරියට කිසිදු තර්ජනයක් ඇති වූ බවට කොමිසම විසින් සිදුකළ විමර්ශනයේදී හෙළි නොවූ බවත් එම වාර්තාවේ සඳහන්.

මේ අතර මාධ්‍යවේදීන්ට පහර දෙන අවස්ථාවේ තමා එම ස්ථානයේ සිටි බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

“දිවුරුමක් යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලියනගේ දුන් සාක්ෂියේ විශ්වසනීය භාවය ගැන බරපතල සැක සංකා මතුවේ,” යනුවෙන් කොමිෂමේ සභාපතිනි රෝහිණී මාරසිංහ නිකුත් කල නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් මාධ්‍යවේදීන්ට පහරදීම දැක්වෙන අදාළ විඩියෝ දර්ශන මානව හිමිකම් කොමිසම විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පෙන්වා ඇති අතර එම රූප රාමුවල දැක්වෙන්නේ එම සිදුවීම බව ඔහු විසින් පිළිගෙන තිබෙනවා.

මෙහිදී පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මාධ්‍යවේදීන් පහැදිලිව හඳුනාගෙන තිබියදීත් ඔවුන්ට මෙලෙස පහරදීම චේතනාන්විතව සිදු කර ඇති බවට හැඟී යන බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය සාමාන්‍ය රාජකාරි සඳහා භාවිත කරන කැලෑ ඇඳුම් වැනි නිල ඇඳුම් සිවිල් ගැටුම් පාලනයට සහ සිවිල් මෙහෙයුම් සඳහා සුදුසු නොවන බව පොලිස්පතිට නිර්දේශ කරන ශ්‍රී ලංකා මානව හිමිකම් සභාව සඳහන් කරන්නේ ඔවුන්ට වඩා සුදුසු නිල ඇඳුමක් ලබාදීමට පොලිස්පතිවරයා කටයුතු කළ යුතු බවයි.

පුවත යවන්න