TNA ජාතික නිදහස් දිනය වර්ජනය කිරීමට තීරණය කරයි

මෙවර 73 වන ජාතික නිදහස් දිනය හා ජාතික නිදහස් දින සැමරුම වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසනවා.
ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ දේශපාලන කමිටු රුස්වීම වව්නියාවේ පක්ෂ කාර්යාලයේදී පැවැත්වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී වරයා
‘ දෙමළ ජනතාවට සිදුවන අඛණ්ඩ මර්දනයන්ට හේතුවෙන් මෙවර ජාතික නිදහස් දිනය වර්ජනය කිරීමට තීරණය කළා.උතුරු නැගෙනහිර පළාත් වල ජීවත් වන දෙමළ ජනතාවට එරෙහිව ආණ්ඩුව විසින් සිදු කරනු ලබන මර්දනයන් පිළිබඳව අප සාකච්ඡා කරනු ලැබුවා. පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව වැනි රජයේ ආයතන විසින් අප ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීම් ආරම්භ කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මීළඟ සැසිවාරය සඳහා සියලූ දෙමළ දේශපාලන පක්ෂ වල එකඟතාවය එම කවුන්සලයේ සියලූ සාමාජික රටවල තනාපතිවරුන් වෙත යැවීමට හැකිවීම පිළිඳබව සතුටු වෙනවා.
මේ අතර වත්මන් ආණ්ඩුව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් කමිටුවක් පත් කර තිබෙනවා. එයට අපගේ අදහස් යෝජනා දැනටමත් අප යවා අවසන්. නව ආණඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන්නේ නම් එහි ජාතික ගැටලූව සඳහා වන විසඳුමක් අඩංගු විය යුතුමයි. ජාතික ගැටලූවට විසඳුමක් නොමැති නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකින් කිසිඳු ඵලක් අත් නොවන බව අප පෙන්වා දී තිබෙනවා.
එම කමිටුව එළැඹෙන 20 වනදා අප පක්ෂය හමුවීමට සුදානම්ව සිටිනවා. එම අවස්ථාවේදිත් අප අපගේ ස්ථාවරය දැනුම් දීමට කටයුතු කරනු ලබනවා.

පුවත යවන්න