බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථාන භූමියේ තිබී අත්බෝම්බයක් සොයාගත් දිනයේ උදෑසන පල්ලියට පැමිණි බව පැවසෙන සැක කටයුතු පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායම් 02 ක් යොදවා ඇති බව පොලිසිය පවසනවා.
පොලීසිය සඳහන් කළේ,එවැනි පුද්ගලයෙකු දේවස්ථානයට පැමිණි බවට කාදිනල් හිමිපාණන් කරන ලද ප්රකාශය මත පදනම්ව පරීක්ෂණ පවත්වන බවයි.
බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී පසුගිය අඟහරුවාදා පස්වරුවේ අත්බෝම්බයක් සොයා ගනු ලැබුවා.
පසුව, පොලිස් විශේෂ කාර්ය බලකාය එය නිෂ්ක්රීය කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 4 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාශය එලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් රජිද්ර ජයසූරිය මහත්මිය ඊයේ (13) නියෝග කළා.
දෙමටගොඩ පදිංචි සැකකරු, සිද්ධියේ ප්රධාන සැකකරු සමග සබඳතා පවත්වමින් බෝම්බය තැබීමේ සිද්ධියට සම්බන්ධ වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියා.