අධිකරණ ඇමතිට එරෙහිව මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක්

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව පවසමින් ඉකුත් පෙබරවාරි 12 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නැයි මහ සංඝරත්නය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර තිබෙනවා.

අදාළ ලිපියේ පිටපතක් කථානායකවරයා වෙතද යොමු කරමින් මහ සඟරුවන ඉල්ලා ඇත්තේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසයි.

ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමි, පූජ්‍ය ඕමාරේ කස්සප හිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ 11 නමකගේ අත්සනින් යුතුව ලිපිය යොමුකර තිබුණා.

අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බෞද්ධ විහාර හා දේවාලගම් පනත, පුද්ගල නීතියක්, බව ප්‍රකාශ කිරීම සම්බන්දව

2021 පෙබරවාරි මස 12 වන දින අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ බෞද්ධ විහාර හා දේවාලගම් පනත, පුද්ගල නීතියක්, බවය. පුද්ගල නීතියක් යනු යම් ජන කොට්ඨාශයකට ඊට අයත් එම කොට්ඨාශයට අයත් ජනතාවට පමණක් පොදූ වූ සාධකයන් මත අදාල වන සේ පනවන ලද නීතියකි. නීති විද්‍යාලයේ හා විශ්ව විද්‍යාලයේ නීති සිසුන්ට නිර්දේශිත ග්‍රන්ථයක් වන මහාචාර්ය එල්.ජේ.එම් කුරේ මහතාගේ ශ්‍රී ලංකාවේ නීති ක්‍රමයට හැඳින්වීමක් (AN INTRODUCTION TO THE LEGAL SYSTEM OF SRI LANKA) යන ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට පුද්ගල නීතිය, යන්නට ඇතුලත් වන්නේ උඩරට නීතිය, තේසවලාමේ නීතිය හා මුස්ලිම් නීතිය පමණී. ඉන් උඩරට නීතිය හා තේසවලාමේ නීතිය ප්‍රාදේශීය නීති, වශයෙන් ද සැලකෙන බැවින් වචනයේ අර්ථයෙන් ම පුද්ගල නීතියක් ලෙස හැඳින්විය හැක්කේ මුස්ලිම් නීතිය පමණක් බව එහි පැහැදිලිව දක්වා තිබේ.

අලි සබ්රි මහතා විසින් සඳහන් කරන ලද බෞද්ධ විහාර හා දේවාලගම් පනත, වකුෆ් පනත (නිවැරදිලෙස මුස්ලිම් පල්ලි හා පුන්‍යාධාර හෝ වකූෆ් පනත), චර්ච් ඔෆ් සිලෝන් (ශ්‍රී ලංකා කතෝලික දේවස්ථාන පිළිබඳ පනත) හා හින්දු සංකෘතික අරමුදල් පනත මූලිකව බෞද්ධ විහාරස්ථාන, මුස්ලිම් පල්ලි, කතෝලික පල්ලි හා දේවස්ථාන හා හින්දු දේවස්ථාන හා ඒවායේ මූල්‍ය පරිපාලනය පිළිබඳව පනවන ලද නීති වේ. එබැවින් ඒවා පුද්ගල නීති යන අර්ථයට නොවැටෙන බව නීතිය සම්බන්ධයෙන් අවම හෝ දැනුමක් ඇත්තෙකුට වුව ද අවබෝධ කරගත හැකි වේ. ව්‍යවස්ථාදායකය විසින් එම නීති පනවා ඇත්තේ එම ආගමික ස්ථාන සම්බන්ධයෙන් යම් නියාමනයක් හා පාලනයක් පවත්වාගෙන යාමට වේ. එසේ තිබිය දී පුද්ගලික නීති මුවාවෙන් එවැනි ආගමික ආයතන හා ඒවායේ මූල්‍ය පාලනයට බලපාන නීති අහෝසි කළහොත් සිදුවන ඛේදනීය තත්වය පිළිබඳව අවම අවබෝධයක් හෝ නොමැති තැනැත්තෙකු මෙවන් වගකිව යුතු අමාත්‍යධූරයක් දැරීම ඉතා කණගාටුදායක තත්වයකි.

එසේම  බෞද්ධ විහාර හා දේවාලගම් පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තියට අනුබද්ධව පවතින නීතියක් බව අධිකරණ අමාත්‍යවරයාට වටහා දිය යුතු වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය යටතේ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමට, රජය බැඳී සිටියි. රජයේ ආයතනයක් වන විධායකය නියෝජනය කරන අධිකරණ අමාත්‍යවරයා ද එම වගකීම ඉටු කිරීමට බැඳී සිටියි. පුරාවිද්‍යා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එස්.ඩ්. 1/94 නඩුවේ දී 1994.04.27 දින ලබා දී තිබෙන තීන්දුවට අනුව බුද්ධ ශාසනය, යන්නට බෞද්ධයින් විසින් වඳින පුදන හා ආගමික පිළිවෙත් ඉටුකරන සියලු ස්ථාන හා අංග ද, ඇතුලත් වන බව දල බුද්ධ ශාසනය, යන්න  බුද්ධාගම, යන්නට වඩා පුළුල් බව ද තීරණය කර තිබේ. එම කොටස ඒ ආකාරයෙන් ම මෙසේ දක්වමු.

“The expression “Buddha Sasana” is wider than “Buddhism” and includes the entire establishment together with objects and places of religious practices and worship of Buddhists”.
ඒ අනුව බෞද්ධ විහාර හා දේවාලගම් පනත බලපාන සියලු විහාරස්ථාන හා ස්ථාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9  වන වගන්තියේ සඳහන් බුද්ධ ශාසනය, යන්නට ඇතුලත් වේ. අලි සබ්රි මහතාගේ විග්‍රහයට අනුව බුද්ධ ශාසනය සම්බන්ධයෙන් පනවනු ලබන සියලු නීති පුද්ගලික නීති ය. රටේ එකම නීතියක්, පවත්වාගෙන යාමටනම් බුද්ධ ශාසනය හා බැඳී තිබෙන නීති ද ඉවත් කළ යුතු බව ඔහුගේ මතය යි. එය කිසිදු න්‍යායාත්මක හෝ ප්‍රායෝගික පදනමක් මත ගොඩ නගන ලද තර්කයක් නොවේ එම ඊනියා තර්කය මගින් අතලොස්සක් වූ ඉස්ලාම් අන්තවාදීන් පමණක් සතුටට පත්වනු ඇත.

අධිකරණ අමාත්‍යවරයාගේ එම සාවද්‍ය හා වගකීම් විරහිත ප්‍රකාශය රටටත්, ජනතාවටත් විශේෂයෙන් ම බුද්ධ ශාසනයටත් එරෙහිව කරන ලද බරපතල ප්‍රකාශයක් ලෙස අපි තරයේ හෙලා දකිමු. එම ප්‍රකාශය සිදු කිරීම මගින් අමාත්‍යවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් භාර කර තිබෙන වගකීම පැහැර හරිමින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරිමට වුව ද තමන් සූදානම් බව ජනතාව ඉදිරියේ ප්‍රකාශ කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරිම සඳහා ජනතාව ඉදිරියේ ප්‍රතිඥා දී සිටින එතුමා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී සිදුකළ එම ප්‍රකාශයත් සමගම ඔහුට තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හෝ නීතිඥයෙකු ලෙස හෝ කටයුතු කිරීමට ඇති සුදුසුකම ගැටලුවක් බවට පත්ව තිබේ.

වත්මන් ආණ්ඩුව බලයට පත් කිරිම සඳහා ඡන්දය ලබා දුන් 69 ලක්ෂයක ගේ අපේක්ෂාව වූයේ එකම රටක එකම නීතියක්, බලාත්මක වීම ය. යථාර්තවාදී ලෙස නීතියේ පාලනයක්, පවත්වාගත හැක්කේ එවිට ය. එහි දී සෑම තැනැත්තෙකුම නීතිය ඉදිරියේ සමාන වන අතර සැම තැනැත්තෙකුටම නීතියේ සමාන ආරක්ෂාව ලැබීමට අයිතිය තිබේ. එහෙත් මුස්ලිම් විවාහය හා සම්බන්ධ නීති හමුවේ මුස්ලිම් කාන්තාව සෙසු කාන්තාවන්ට සාපේක්ෂව පීඩාවකට හා අසාධාරණ සැලකීමකට ලක්ව සිටියි. එක රටක් එක නීතියක් යන සංකල්පය මගින් අපේක්ෂා කරනු ලබන්නේ එම නීති වලින් අදාල විෂමතාවයන් ඉවත් කිරීමය. සිංහල කාන්තාවන් බුක්ති විදින අයිතිවාසිකම් මුස්ලිම් කාන්තාවන්ට අහිමි කිරීම වරදකි. අධිකරණ අමාත්‍යවරයාගේ යටි අරමුණ අදාල නීති සංශෝධන සිදු කිරීම වැලැක්වීම බව පැහැදිලිවම පෙනේ. එය ඉස්ලාම් අන්තවාදීන්ගේ උවමනාවකි.  එසේම මුස්ලිම් ව්‍යාප්තවාදයට පදනම සකස් කරන ඉගැන්වීමේ මධ්‍යස්ථාන හා විෂයයන් නියාමනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට බලය ලබා නොදීමද ජාතික ආරක්ෂාවට  තර්ජනයක් වී තිබේ. එකම රටක එකම නීතියක් යටතේ පාලනයක් ඇති රටක අන්තවාදීන්ට තම ව්‍යාප්තවාදී හා විනාශකාරී අරමුණු කරා යාම දුෂ්කරය. අන්තවාදී ව්‍යාප්තවාදීන්ගේ අභිප්‍රායන් සඵල කරගත හැක්කේ මුස්ලිම් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් යටපත් වන පරිදි සකස් වූ එම ජන කොට්ඨාශය අන්තගාමීන්ගේ අණසකට යටත් කරගත හැකී නීති පද්ධතියක් ක්‍රියාත්මක වුවහොත් පමණී.

එසේ හෙයින් අධිකරණ අමාත්‍යවරයා විසින් 2021 පෙබරවාරි මස 12 වන දින පාර්ලිමේන්තුවේ දී සිදුකර තිබෙන පෙර සඳහන් ජාතිදේ‍රා්හී ප්‍රකාශය මත ඇතිවී තිබෙන බරපතල තත්වය පිළිබඳව අවධානය යොමු කර ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර කඩිනමින් ගන්නා ලෙස සමස්ත ජනතාවගේ ම ජීවිත හා අනාගතය භාරවී තිබෙන ගරු ජනාධිපතිතුමා ගෙන් මෙයින් ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිමු. එසේ ම බෞද්ධ විහාර හා දේවාලගම් පනත හා සෙසු ආගම් වලට අයත් ආයතන සම්බන්ධයෙන් පනවා තිබෙන පනත් පුද්ගල නීති ලෙස හුවා දක්වමින් අධිකරණ අමාත්‍යවරයා විසින් 2021 පෙබරවාරි මස 12 වන දින පාර්ලිමේන්තුවේ දී සිදුකර තිබෙන අසත්‍ය, අනෛතික හා ජාතිදේ‍රා්හී ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට නියම කරන ලෙස ගරු කථානායකතුමාගෙන් ද මෙයින් ඉල්ලා සිටිමු.

පිටපත්:- 1. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා
2. ගරු කථානායක, මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා
3. සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
4. සියලු මාධ්‍ය ආයතන සඳහා

නම
1. ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්ථවිර
2. පූජ්‍ය ඕමාරේ කස්සප අනුනායක ස්ථවිර
3. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි
4. පූජ්‍ය බෙංගමුවේ නාලක අනුනායක ස්ථවිර
5. පූජ්‍ය බලංගොඩ සෝභිත ස්ථවිර
6. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි
7. මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමි
8.  මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්ථවිර
09. මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන ස්ථවිර
10. ආචාර්ය පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්ද කිත්ති හිමි

11. පූජ්‍ය වැලිමිටියාවේ ඥාණරතන ස්ථවිර

 

පුවත යවන්න