අමාත්‍යාංශ ලේකම්ගේ වාහනය නැවතූ පොලිස් කොස්තාපල්ට දුන් මාරුව අවලංගුයි(Video)

ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු පැදවූ කැබ්රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක හුවමාරුවේදී නවතා ඔහුගේ රියැදුරු බලපත්‍රය පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු වහාම ස්ථාන මාරු කර යැවීමට ගෙන තිබූ තීරණය අත්හිටුවා තිබෙනවා.

මෙම සිද්ධියට මුහුණ පා සිටින ස්ථාන මාරුව ලබා ඇත්තේ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර සිද්ධියෙන් ඔහු මාතර කොට්ඨාශයට මාරු කර යවා තිබුණා.

මෙම අතිරේක ​ලේකම්වරයා පවුලේ අය සමගින් අපරැක්ක හුවමාරුවෙන් අතුරුගිරිය බලා ගමන් කිරීමට යාමේදී පොලිස් කොස්තාපල්වරයා එම වාහනය පරීක්ෂා කිරීමට නවතා තිබෙනවා.

එහිදී රියැදුරු බලපත්‍රය ඉල්ලා සිටියදී තමන් ආරක්ෂක අමාත්‍යාංශයේ දෙවැනියා බවත් කවදාවත් ආරක්ෂක අමාත්‍යාංශයේ වාහනයක් නවත්වා නැති බවත් කියමින් එම පුද්ගලයා කොස්තාපල්වරයාට දැඩි ස්වරයෙන් කතාකර ඇති අතර ඒ අවස්ථාවේ වාහනයේ සිටි කාන්තාවක්ද රියැදුරු බලපත්‍රය ඉල්ලුවේ යැයි කියමින් කොස්තාපල්වරයාට බැණ වැදී තිබෙනවා.

අමාත්‍යාංශ පුවරු ප්‍රදර්ශනය කර විවිධ වාහන යන බැවින් තමාට ලබාදී ඇති උපදෙස් මත වාහනය නවතා රියැදුරු බලපත්‍රය පරීක්ෂා කිරීම කළ බවත්, වාහනයේ ඉදිරිපස ආරක්ෂිත පටි හා මුව ආවරණ පැළඳගෙන යන ලෙසත් කොස්තාපල්වරයා එහිදී දැනුම්දී තිබුණා.

මෙවන් පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් පොලිස් නිලධාරීන්ට සිය සේවය බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ගැටළු මතුවන අතර ඔහුට එරෙහිව පියවර ගන්නා ලෙසයි සමාජ මාධ්‍ය තුල දැඩි ඉල්ලීමක් මතුව ඇත්තේ.

පුවත යවන්න