මෙරටට ආනයනය කරනු ලබන බිත්තර බේකරි කර්මාන්තය සඳහා පමණක් යොදා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ඒ කුරුළු උණ රෝගය රටට ඇතුළු වීම වැළැක්වීම සදහායි.
රටින් ගෙන එන බිත්තර සාමාන්‍ය පරිභෝජනයට වෙළෙදසැල්වල අලෙවිය සදහා තැබීමට අවසර නොදෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය අවධාරණය කරන්නේ. බේකරිවල භාවිතයේදී ද මාර්ගෝපදේශ පිළිපැදිය යුතු වනවා.
බිත්තර හිඟය අවම කරලීම සඳහායි බිත්තර ආනයනය කිරීමට තීරණය කෙරුණේ.පහසුවෙන් බිත්තර ආනයනය කළ හැකි රටවල් කිහිපයකින් කුරුළු උණ වසංගත තත්ත්වය වාර්තා වූ නිසා බිත්තර ආනයනය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරය හිමි වූයේ නැහැ.
එහෙත් බිත්තර හිඟය සහ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් තාවකාලිකව බිත්තර ආනයනය කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වනවිට අවසර ලබා දී තිබෙනවා.
බිත්තර ආනයනය සහ පශු සම්පත් සංවර්ධනය සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැත්වුනා..
අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක නිලධාරීන් ඊට එක්ව සිටියා. මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ ආනයනික බිත්තර භාවිත කරනු ලබන්නේ බේකරි කර්මාන්තය සඳහා පමණක් බවයි.
සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළඳසැල් තුළ අලෙවි කිරීමට අවසර නොදිය යුතු බවත් අවධාරණය කෙරුණා. කුරුළු උණ වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළුවීම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.
බේකරි කර්මාන්තය තුළ ද මෙම බිත්තර භාවිත කිරීම සම්බන්ධව මාර්ගෝපදේශන මාලාවක් වහාම සකස් කරන ලෙස අමාත්‍යවරයා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය කේ.ඒ.සී.එච්.ඒ. කොතලාවල මහත්මියට උපදෙස් දුන්නා.
බේකරි කර්මාන්තය තුළ මෙම බිත්තර භාවිත කරන විට අත් ආවරණ යොදා ගැනීමටත්, බිත්තර කටු ආරක්ෂිතව බැහැර කිරීම හෝ විනාශ කිරීම සිදු කළ යුතු බවටත්, කිසිසේත්ම ඉතිරි වන බිත්තර කටු පරිසරයට මුදා නොහැරීමට වග බලා ගන්නා ලෙසත් අවධාරණය කෙරුණා.