වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික පෙත්සම් දෙකක් අධිකරණය හමුවේ අද යළි සළකා බැලුවා.
මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන හිටපු මුදල් අමාත්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් මාරපන කියා සිටියේ මෙම පෙත්සම තුළ කිසිදු ආකාරයක මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් අනාවරණය නොවන බවයි.
එබැවින් අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඔහු ඉල්ලා සිටියා. ගෝඨාභය රාජපක්ෂ නිදහස් හා සාධාරණ මැතිවරණයකට ඉදිරිපත්ව සියයට පනස් හතරක ජනවරමින් ජනාධිපති ධූරයට නීත්‍යානුකූලව තේරී පත් වූ නායකයෙකු බව කී ඒ මහතා මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරුන් ලෙස කටයුතු කළේ නීත්‍යානුකූලව බවද පැවසුවා.
බදු සහන ප්රදානය කිරීම සහ නිසි වේලාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගත් බවට කරන චෝදනා පදනම් විරහිත බව කී ඔහු මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙන්නේ ද නිසි කාලසීමාව ඉක්මවා ගිය පසු බව සදහන් කළා.
රජයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් තම සේවාදායකයන් කටයුතු කළේ අමාත්‍ය මණ්ඩල තීරණවලට අනුව බවයි ජනාධිපතිනීතිඥවරයා තවදුරටත් කියා සිටියේ. මේ අනුව තම සේවාදායකයන්ට පමණක් චෝදනා එල්ල කිරීම යුක්ති සහගත නැති බවද ඒ මහතා පැවසුවා.
පාස්කු ප්‍රහාරය සහ කෝවිඩ් වසංගතය වත්මන් ආර්ථික අර්බුදයට ප්‍රධාන වශයෙන් හේතු වූ බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ.
එම ආර්ථික අර්බුදයට විසදුම් සෙවීමට තම සේවා දායකයන් අඛණ්ඩව උත්සාහ කළ බවත් කිසිවිටෙකත් ඔවුන් සිය වගකීම් පැහැර නොහැරි බවත් ඔහු අවධාරණය කළා. පෙත්සම පිළිබද වැඩිදුර සළකා බැලීම අනිද්දා දක්වා කල් තැබුනා.