ගහකොළ තරම් මේ පෘථිවි තලයට සේවය කරන අන් ජීවී විශේෂයක් නොමැති තරම්ය. ගහකොළවල වටිනාකම දැන සිටි අප මහා ශාස්තෘවරයා බුද්ධත්වය ලැබීමෙන් පසු අනිමිසලෝචනයෙන් ඇසතු රුක වන්දනා කළේය.
අතීතයේ සොබාදහම සමඟ ජීවත් වූ අප මුතුන්මිත්තෝ ගහකොළ වන්දනාමාන කළේ ඔවුන් නොමැතිව තමන්ට ද පැවැත්මක් නොමැති බව හොඳින් වටහාගෙන සිටි බැවිනි. එහෙත් ක්‍රමයෙන් සංවර්ධන ඉලක්ක හඹා යෑම ඇරඹූ මිනිසා ඒ සමඟින් ගහකොළ සතා සීපාවා පමණක් නොව මනුස්සකම ද වේගයෙන් අමතක කර දැමුවේය.
දැන් පෙරළා සොබාදහමින් පහර කමින් සිටින මිනිසා යළි සොබාදහමට ගරු කිරීමට උත්සාහ දරමින් සිටී. අඩුම තරමින් සොබාදහමට ගරු කරන මිනිසුන්ට ගරු කිරීමට බොහෝ දෙනා පෙලඹී සිටී.
පසුගියදා ඉන්දියාවේ කර්නාටක් ප්‍රාන්තයේ ප්‍රාන්තවාසීන් විසින් ‘වන දේවතාවිය‘ යනුවෙන් හඳුන්වන තුල්සි ගවුඩා ඉන්දියානු පුරවැසියකුට පිදෙන උතුම්ම සම්මානය සේ සැලකෙන ‘පද්ම ශ්‍රී‘ සම්මානයෙන් පුදනු ලැබීම හැඳින්විය හැකි වන්නේ ඉහත කී අන්දමේ බුහුමන් කිරීමක් වශයෙනි.
සැබවින්ම තුල්සි ගවුඩා යනු වන දේවතාවියකි. සොබා දහමේ මාතාවකි. ඇයගේ ජීවිත කතාව පුදුම උපදවන සුලුය. පෞද්ගලිකත්වයෙන් මිදුණු මිනිසකුට ලොවට දායාද කළ හැකි දේ කෙතරම්දැයි ඇය උදාහරණ සමඟින් ලොවට පෙන්වා දුන්නාය.
කර්ණාටක් ප්‍රාන්තය යනු සුරදූත පුරයක් නොවේ. 1944 වසරේදී ඉතා දුගී පවුලක දියණිය ලෙස දුගී කර්ණාටක් ප්‍රාන්තයේ කුඩා පැලක උපත ලැබූ තුල්සිට ඒ නම ලබා දෙන විට ඇය යම් දිනක ‘සොබාදහමේ මාතාව‘ යනුවෙන් අභිෂේක ලබනු ඇතැයි ඇයගේ පියා කිසිසේත් නොසිත්නනට ඇත. එයට හේතුව ‘තුල්සි‘ යනු ඉන්දීය ජාතිකයන් වන්දනාමාන කරන ශාක විශේෂයක් වීමය.
තමා කිසිදින ඇසින් නොදුටු ඒ අනාගතය අනුමාන කර ඇයට නම් තැබූ පියා ඇය යාන්තම් දෙහැවිරිදි වියේදී ලෝකයෙන් සමුගෙන ගියේ මව සහ තුල්සි දුක් කන්දක තනි කර දමමිනි.
කුඩා කළ සිටම ළමා මෙහෙකාරික ලෙස සේවය කිරීම ඇරඹූ තුල්සි ඉතා කුඩා වයසින්ම විවාහ දිවියට එළඹෙන්නේ එය එතරම්ම සාමාන්‍ය වූ බැවිනි. එකල ඇයගේ වයස කොපමණ විණි දැයි අනුමාන කිරීමට තරම් ඇය මෝරා නොතිබූ අතර ඇය පවසන්නේ එකල ඇයගේ වයස අවුරුදු 10 -12 තරම් වන්නට ඇති බවයි. කෙසේ වුවද එක් සැමියකු සමඟ රැඳෙන්නට තරම් පින් කළ ඇය වැන්දඹු වූයේ වයස අවුරුදු 50දීය. කෙසේ වුවද ජීවන අරගලය හේතුවෙන්ම ඇයට බොහෝ දේ ඒ වන විටත් අහිමි වී තිබිණි. අධ්‍යාපනය ඒ අතරින් ප්‍රධාන විය. ඇය මළපොත අකුරක් නොදන්නා කාන්තාවක වන විට ඇයගේ අනාගතය ඇය රටක්ම මහා ගෞරවයෙන් පුදනු ලබන තරමින් උසස් තැනකට ගෙන එන බව ඇය දැන නොසිටියාය.
ඇයගේ ජීවිතය අලුත්ම මාවතකට යොමු වූයේ ඇය ජීවිතය ඉදිරියට ගෙන යෑමට කළ සටනේදීය. දෛනික වැටුප් ලබන සේවකයකු ලෙස කර්ණාටක් ප්‍රාන්තයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඇය එක්වූයේ සරල බලාපොරොත්තු සමඟිනි. ඇයගේ එකම අරමුණ පසු දිනයේ වේල සරි කර ගැනීමට යම් මුදලක් ලැබීම පමණක් විය. අනික් අතට ඇයට ගනුදෙනු කිරීමට ඉඩහසර ලැබුණේ එය මෙලොව වැඩියෙන්ම ආදරය කළ ජීවීන්ටය. ඒ ගහකොළම විය. වසර 30ක් පුරා ගහකොළ අතගාමින්, ඒවා සංරක්ෂණයට කටයුතු කරමින්, ගස් යට වැටෙන බීජ අදාළ තැන්වලට ගෙන ගොස් එවාට නවාතැන් සපයමින් ඇය වනය ඇයගේ ජීවිතයම කර ගත්තාය. එතනදී ඇය ඇයට දෙපාර්මේන්තුවෙන් ලැබුණු න්‍යායික දැනුමට ඇය වනයෙන්ම උකහා ගත් අලුත්ම දැනුම ද එක් කළාය. ගස් යට වැටෙන බීජ ගස් යටම පැළ වෙන විට එතැන වන ගහනය අතර තරගයක් ඇති වන බවත් උචිතයා පමණක් සරු පස උරා ගනිමින් හොඳින් වැඩෙද්දී බොහෝ අය නිසරුව සිටින බවත් වටහා ගත් ඇය බොහෝ ශාකවල බීජ තැන් තැන්වලට ගෙන ගොස් අලුතෙන්ම පැළ කළාය. ඇය එසේ පැළ කළ ශාක ප්‍රමාණය 30,000ක් පමණ වෙතැයි මේ වන විට ගණන් බලා තිබේ.
වසර තිහක් පුරා ගහකොළ අතගාමින්, ඔවුන් වෙනුවෙන් දිවි ගෙවූ තුල්සිට කර්ණාටක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථිර පත්වීම් ලැබුණේ ඇය කරන මෙහෙය ගැන ප්‍රාන්ත ආණ්ඩුව ඒ වන විට වටහාගෙන සිටි බැවිනි. වනය පුරා ඇවිදිමින් ඇය උපයා ගත් දැනුම දෙපාර්තමේන්තුවේ කිසිවකුට හෝ නොවූ තරම්ය. ඇය උගත්තේ සොබාදහමිනි. එය වඩා ප්‍රායෝගික විය. ඇයගේ දැනුම සෙසු අයට ද ලබා දිය යුතු බව වටහා ගත් බලධාරීහු ඇයගෙන් යම් යම් දේ ඉගෙනුමට පිරිස් යෙදවූහ.
අවසන වයස 70දී ඇය විශ්‍රාම ලබන විට වනාන්තරය පිළිබඳව ඇය සතු වූ දැනුම මුළු මහත් ඉන්දියාවම පුදුම කරවන සුලු විය. ගහකොළ පිළිබඳව ඇය සතු වූ දැනුම නිසාම ඇය ‘වන දේවතාවිය‘ වශයෙන් අන්වර්ථ නාම ලැබුවාය.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ලැබුවද තුල්සි ගවුඩාගේ ජීවිතය වනයෙන් වියෝජනය කළ නොහැකි විය. එබැවින්ම ඇය තම ජීවන ඉලක්කය ගස් ලක්ෂයක් පැළ කිරීම ලෙස සිතෙහි ධාරණය කර ගත්තාය. ඒ අනුව කටයුතු කළාය. ඇයගේ සේවය ඇය වෙනුවෙන් පමණක් නොවීය. ඒ කර්ණාටක් ප්‍රාන්ත වැසියන් වෙනුවෙන් පමණක් නොවීය. ඉන්දියානුවන් වෙනුවෙන් පමණක් නොවීය. සමස්ත මානවයන් සහ සෙසු සත්ත්වයන් වෙනුවෙන්ම විය. එබැවින් ඇයව ඉන්දියාව තුළ පුද දිය හැකි උසස්ම සම්මානයෙන් පුද දීමට ඉන්දීය රජය තීරණය කළේය. 2020 වසරේ පද්ම ශ්‍රී සම්මාන ලාභීන් අතර තුල්සි ගවුඩා ද වූවාය. ජනාධිපතිවරයා අතින් සම්මානයෙන් පිදුම් ලැබීමේදී වුවද ඇය තමා සැමදා ඇඳීමට ප්‍රිය කළ සරල ඇඳුමින් සැරසී සිටියාය. ගහකොළ ඇසුරේ සිටි ඇයට අමුතු ආභරණ අවශ්‍ය නොවීය. ඇය දැන් වියපත්ය. එහෙත් සොබාදහමේ සැලකුම් ලැබූ ඇය නිරෝගීය. එබැවින්ම හෙටත් ඇය පෘථිවි ගෝලයේ සමස්ත ජීව සංහතිය වෙනුවෙන් තම යුතුකම ඉටු කිරීමට කැපවනු ඇත. – ටිරෝනි වෑවලගේ – Silumina