කිඹුලන් මුහුදට යාම නවතන්න බේරේ හා බොල්ගොඩ සීමාවන්ට දැල්

කොළඹ ආශ්‍රිත මුහුදු කලාපයට කිඹුලන් ගමන් කිරීම නතර කිරීම සඳහා බොල්ගොඩ ගඟ සහ බේරේ වැවේ ජලය මුහුදට වැටෙන ස්ථානවලට මඳක් ඉහළ ප්‍රදේශ දැල්වලින් ආවරණය කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවධානය යොමුකර තිබෙනවා.

බොල්ගොඩ ගඟේ සිටින කිඹුලන් සහ දියවන්නා ජලාශයේ කිඹුල්ලු බේරේ වැව හරහා මුහුදට පැමිණීම සාමාන්‍ය තත්ත්වයක් වනවා.

කිඹුලන් සැලකියයුතු සංඛ්‍යාවක් මෙම ඇළ මාර්ග සහ ජලාශවල සැරිසරන අතර, මෙම කිඹුලන් නිරන්තරයෙන් මුහුදට ද පැමිණීම සිදුවනවා.

මෙම සිද්ධිය අතීතයේ සිටම සිදුවී ඇතැයි ද වනජීවී අංශ සදහන් කළා.

බොල්ගොඩ ගඟට සහ බේරේ වැවට දැල් දැමූවත්,කිඹුලන් ගොඩබිම හරහා මුහුදට ගමන් කරනු ඇතැයිද වනජීවි නිලධාරීන් පෙන්වා දෙනවා.

ඇළවල් ආශ්‍රිතව සිටින කිඹුලන් කසළ ශෝධකයන් ලෙස කටයුතු කරන බවත්,ඇළවල්වලට දමන බළල්,සුනඛ මළකුණු මෙම කිඹුලන් ආහාරයට ගන්නා බවද වනජීවි නිලධාරීහු කියති. කිඹුලන් නොමැති වුවහොත් බේරේ ආදී වැව් වඩාත් අපවිත්‍ර වනු ඇතැයිද වනජීවි නිලධාරීන් පවසනවා.

පුවත යවන්න