කොරෝනා නිසා ඇඟලුම් සේවකයන්ගෙන් සියයට 27කට රැකියා අහිමි වෙලා

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ (2020) මාර්තු අප්‍රේල් සහ මැයි මාසවලදී පමණක් නිදහස් වෙළෙඳ කලාප සේවකයන් පනස් පන්දහසකට (55,000) පමණ රැකියා අහිමි වී ඇති බව නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් පවසයි.

ලංකා සේව්‍ය සම්මේලනය සිදුකර ඇති සමීක්ෂණයකට අනුව මෙරට ඇඟලුම් කර්මාන්තශාලා සේවකයන්ගෙන් සියයට විසිහතකට මේ වන විටත් රැකියා අහිමි වී ඇති බව ඔහු පවසා සිටී.

එම මාසවලදී ඇඟලුම් කර්මාන්ත සේවකයන්ට ඔවුන්ගේ සාමාන්‍ය වැටුපෙන් සියයට හතළිහක් අහිමි වී ඇති බවත් එලෙස අහිමි වූ මුදල රුපියල් කෝටි 480ක් බවත් ඒ මහතා කීවේය.

ලේකම්වරයා මේ පිළිබඳව කියා සිටියේ ඊයේ (1 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

කොවිඩ් වසංගත තත්ත්වය ඉතාමත් තීරණාත්මකව පැවැති අවස්ථාවක පවා මෙරට ඇඟලුම් කර්මාන්ත සේවකයන් 275000ක් (දෙලක්ෂ හැත්තෑ පන්දහසක්) සේවයේ යෙදුණද ඔවුන්ට එම කාලය තුළදී කිසිදු දීමනාවක් හෝ ලැබී නොමැති බව හෙතෙම අවධාරණය කර සිටියේය.

මෙම වැටුප් හිඟතාවය පිළිබඳව සහ සේවකයන්ට ලැබිය යුතු දීමනා මෙතෙක් නොලැබීම පිළිබඳව අවස්ථා කිහිපයකදීම කම්කරු කොමසාරිස්වරයා දැනුවත් කර සිටියත් කිසිදු ප්‍රතිචාරයක් ඔහුගෙන් නොලැබුණු බව ඇන්ටන් මාකස් වැඩිදුරටත් පැවැසීය.

අශිකා ජයවීර

පුවත යවන්න