කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් හෘද රෝග සඳහා ගොදුරුවීමේ බරපතල නැඹුරුවක් පවතින බව නවතම අධ්‍යයනයක් මගින් අනාවරණ වී තිබෙනවා.
වොෂින්ටන් විශ්ව විද්‍යාලය සිදුකළ අධ්‍යයනය මගින් හෙළිකර ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වී සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයන් පවා මෙම අවදානමට ගොදුරු වන බවයි.
ඒ අනුව සුවය ලැබූ ආසාදිතයන් අවම වශයෙන් වසරක පමණ කාලයක් හෘද වාහිනී තුල ගැටළු ඇතිවීමේ අවදානමක පසුවන බවයි අධ්‍යයන වාර්තාව පවසන්නේ.
හෘදයාබාධ හා ආඝාත වැනි තත්ත්වයන් නොතිබූ සාමාන්‍ය පුද්ගලයින් පවා වසංගතයට ගොදුරුවීමෙන් පසුව මෙම අවදානමේ ගොදුරක් බවට පත්ව ඇති බවයි වාර්තාව සදහන් කළේ.
වයස අවුරුදු 65 ට අඩු සහ තරබාරුකම හෝ දියවැඩියාව වැනි අවදානම් සාධක නොමැති පුද්ගලයන් අතර ද මෙම හෘද රෝග අවදානම ඉහළ යන බව සදහන්.
ඒ අනුව තරුණ හෝ මහලු වුවත් , දුම් පානය කළද නොකළද මෙම අවදානම සමාන මට්ටමක පවතින බවයි අධ්‍යයනයේ සම කර්තෘ සියාඩ් අල් අලි පැවසුවේ.
වෛරසය ආසාදනයවීමෙන් පසු සුවය ලැබූ පුද්ගලයන් 150,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් හා ආසාදිත නොවන පුද්ගලයින් කණ්ඩායම් දෙකක් සමඟ සංසන්දනය කරමින් මෙම දත්ත ලබාගෙන තිබුණා.
මෙහිදී පැහැදිලිවී ඇත්තේ සාමාන්‍ය පුද්ගලයන්ට වඩා ආසාදිත වූවන් අතර හෘද රෝගීන් ප්‍රමාණය සියයට 52කින් වැඩි බවයි.
වෛරසය ආසාදනය වී බරපතල තත්ත්වයට පත්ව සුවය ලැබූවන් මෙහි උපරිම අවදානමක් පෙන්නුම් කළ ද රෝහල් ගත නොවන්නන් අතර පවා සැලකිය යුතු මට්ටමේ ඉහළ අවදානමක් පවතින බවයි හෙළිකර ඇත්තේ. – අමල් අල්මේදා