කොරෝනා වැළඳී දැනට ගැබිණි කාන්තා මරණ 5ක්

කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මේ වනවිට මෙරට තුළ ගර්භණී කාන්තාවන් 5 දෙනෙකු මරණයට පත්ව ඇති බව ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් පවසනවා.

මෙය තවදුරටත් වර්ධනය විය හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා සඳහන් කළේ,

“ගර්භණී මව්වරුන්ට එන්නත ලබාදීම සම්බන්ධයෙන් තියෙන වාසි සහ අවාසි ගැන සලකා බැලුවාම අපිට වැඩිපුරම වාසි තමයි දකින්න තියෙන්නේ. ඒ අනුව වඩාත්ම සුදුසු වෙන්නෙ ශ්‍රී ලංකාවේ ගර්භණී මව්වරුන්ට එන්නත ලබාදීම,”

මේ අතර ගර්භණී කාන්තාවන් සඳහා එන්නත් ලබාදීම පිළිබඳ අවසන් සාකච්ඡාව අද දිනයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ බව එම විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

“නම් වශයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය සයිනොෆාම් එන්නත නිර්දේශ කරලා තියෙනවා වෛද්‍යවරුන්ගේ අනුදැනුම් ඇතුව ගර්භණී මව්වරුන්ට භාවිත කිරීමට. බහුතරයක් රටවල්වල ඒ ඒ රටවල භාවිත කරන එන්නත් ගැබිනි කාන්තාවන්ට නිදහසේ ලබා දෙනවා. ගර්භණී කාන්තාවන් සඳහා එන්නත් ලබාදීම පිළිබඳ අද සාකච්ඡාවකුත් තියෙනවා. අපේ විද්‍යායතනයත් ගැඹුරින් කියනවා නම් මේක විය යුතුයි කියලා සාකච්ඡාවෙන් පසු සුභදායක පණිවුඩයක් අපිට ලැබෙයි.”

පුවත යවන්න