ගතවූ දිනයේ බස්නාහිර ආසාදිතයන් 1,500 ඉක්මවයි

මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අනුව ඊයේ (12) දිනය තුළ බස්නාහිර පළාතෙන් නව ආසාදිතයින් 1,500කට ආසන්න පිරිසක් හඳුනාගෙන තිබෙනවා.

කොවිඩ් -19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සංඛ්‍යා දත්තවලට අනුව ඊයේ දිනය තුළ දිස්ත්‍රික්ක 8කින් 100කට වැඩි අසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණා.

ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක්, පෙරේදා දිනයේ ඉතා අඩු ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවීම ද විශේෂත්වයක්.

පෙරේදා දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් දෛනික ආසාදිතයින් 35 දෙනෙකු හඳුනාගෙන තිබු අතර ඊයේ දිනයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 591ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 455ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 437 දෙනෙකු ආසාදිතයින් ලෙස වාර්තාවීමත් සමග බස්නාහිර පළාතෙන් ඊයේ දිනය තුළ හඳුනාගැණුනු ආසාදිතයින් ගණන 1,483ක් බවට පත්වනවා.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ දී ආසාදිතයින් 327 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මෑත කාලීනව ගාල්ල දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් මෙතරම් සංඛ්‍යාවක් හඳුනාගත් පළමු අවස්ථාව ලෙස ද මෙය සැලකෙයි.

මීට අමතරව බදුල්ලෙන් 100ක්, මාතලෙන් 113ක්, පුත්තලමෙන් 136ක් සහ රත්නපුරෙන් 179ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 46 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමග මෙරටින් ඊයේ දිනයේ දී හඳුනාගැණුනු ආසාදිතයින් ගණන 3,039ක්.

මාස දෙකකට අධික කාලයකට පසුව දෛනික ආසාදිතයින් 3000සේ සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ද මෙයයි.

මීට ප්‍රථම අවසන් වරට ආසාදිතයින් 3,000 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ ජුනි මස 05වන දින බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙනවා.

මේ වනවිට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 345,118 දෙනෙකු දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව ද 37,199 ක් ලෙස ඉහළගොස් තිබෙනවා.

පුවත යවන්න