ගල්කිස්ස දැරිය අපයෝජනය: මාලදිවයින් ජාතිකයා ඇතුළු 4 දෙනෙකු දැරිය විසින් හඳුනා ගැනේ

15 හැවිරිදි දැරියක දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් 4 දෙනෙකු අදාළ දැරිය විසින් අද හදුනාගනු ලැබුවා. අදාළ මාලදිවයින් ජාතිකයා ද ඒ අතර වනවා.

අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත් 15 හැවිරිදි දැරියක දූෂණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 40 දෙනෙකුට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 7 දෙනෙකු ඇප මත මුදාහැර සිටිනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කෙරුණු අතර අදාළ දැරිය එම සැකකරුවන් සියලු දෙනාම හදුනාගත්තා. මෙම හදුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වුණේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේයි.

මෙසේ හදුනාගත් පිරිස අතර මාලදිවයින් ජාතිකයාට අමතරව බම්බලපිටිය හා ගල්කිස්ස ප්‍රදේශයන්හි පිහිටි හෝටල් දෙකක් කළමනාකරුවන් දෙදෙනෙකු සහ හෝටල් සේවකයෙකු ද වනවා. තම සේවාදායකයින් ඇප මත මුදා හරින ලෙස විත්තියේ නීතීඥවරුන් ඉල්ලා සිටියා. එහිදි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරියා අධිකරණය හමුවේ පැවසුවේ මාලදිවයින් ජාතිකයාට අදාළ පරීක්ෂණ පමණක් අවසන්ව ඇති බවයි.

ඒ අනුව ඔහු රුපියල් 25000 ක මුදල් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරුණා. විදෙස් ගමන් තහනම් කෙරුණා. සෑම ඉරු දිනකම පෙරවරුවේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට වාර්තා කළ යුතු බවටයි සැකකාර මාලදිවයින් ජාතිකයාට නියෝග කෙරුණේ.

සෙසු සැකකරුවන් තුන්දෙනා ලබන 29 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

පුවත යවන්න