ගාසා තීරය තවත් ඇවිලෙයි / ඊශ්‍රායලයට රොකට් වෙඩි වැස්සක්

7 වන දිනටත් ඊශ්‍රායලය ආශ්‍රිත ගැටුම්කාරී තත්ත්වය උත්සන්නවී තිබෙනවා.
සී එන් එන් පුවත් සේවය වාර්තා කළේ අද දිනයේදී වාර්තාගත රොකට් වෙඩි ප්‍රහාරයක් ඊශ්‍රායලයට එල්ලවූ බවයි.
ඒ අනුව එක් අවස්ථාවක විනාඩි 5ක් තුල දී රොකට් වෙඩි ප්‍රහාර 135ක් ඊශ්‍රායලය තුලට එල්ලවූ බවද හෙළිකර තිබෙනවා.කෙසේ වෙතත් ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් මෙම ප්‍රහාර සාර්ථකව වළක්වා තිබෙනවා.
මේ අතර ඊශ්‍රායලය විසින් හමාස් නායකයා ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ප්‍රහාරයෙන් එම නිවස විනාශවී තිබුණද හමාස් නායකයා ට හානියක් සිදුවූයේ දැයි හෙළිකර නැහැ.

තවත් ඊශ්‍රායල ප්‍රහාර මාලාවක්ම ගාසා තීරය වෙත එල්ල කරමින් ඇති අතර හමාස් භූගත උමං විනාශ කරමින් පවතින බවයි හෙළිකර ඇත්තේ.
මේ අතර ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වන විට පළස්තීන වැසියන් 189 ක් මරණයට පත්ව තිබෙනවා.
තවත් දහසකට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ.
හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් 10 දෙනකු මියගොස් තිබෙනවා.
මේ අතර ගාසා තීරයේ මානුෂීය අර්බුධයක් නිර්මාණය වෙමින් පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ.
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් පලා යමින් සිටින බවද එම වාර්තා පැවසුවා.
මේ අතර හමාස් සංවිධානය විසින් මිනිස් පළිහක් භාවිත කරමින් පවතින බවයි ඊශ්‍රායලය චෝදනා කළේ.
හමාස් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන අවස්ථාවේදී ළමුන් පිරිසක් එහි රදවා ඇති බව හඳුනා ගැනීම සමග ප්‍රහාරය අත්හිටවූ බවයි වීඩියොවක් නිකුත් කරමින් ඊශ්‍රායල හමුදාව සදහන් කළේ.
මේ අතර ජාත්‍යන්තර ඉස්ලාම් කවුන්සිලය විසින් ඊශ්‍රායලය ගාසා තීරයේ සිදුකරන ප්‍රහාර හෙළාදැක තිබෙනවා.
එම සංගමය පවසන්නේ , මෙම ප්‍රහාර වැලැක්වීම සඳහා ඊශ්‍රායලයට බලපෑම් කරන බවයි.
මේ අතර අමෙරිකාව, ජර්මනිය ඇතුළු රටවල් 25ක් ප්‍රහාරවලින් ආරක්ෂාවීම සඳහා පියවර ගැනීමට ඊශ්‍රායලයට පවතින අයිතිය පිළිගනිමින් නිවේදන නිකුත් කර තිබෙනවා.

මේ අතර ගාසා හී ජාත්‍යන්තර මාධ්‍ය ගොඩනැගිල්ලට එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාරය ජගත් සංවිධානය විසින් ද හෙළා දැක තිබෙනවා.
කෙසේ වෙතත් මේ වන විට අනාවරණවී ඇත්තේ අදාළ ගොඩනැගිල්ල ආශ්‍රිතව හමාස් රොකට් වෙඩි ප්‍රහාර එල්ල කරන ස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.
මාධ්‍යවේදිනියක විසින් ප්‍රහාරයට පෙර සිදුකළ සජීවී පටිගත කිරීමක් තුල දුරකථන ඇමතුමක් මගින් එම ගොඩනැගිල්ල පාමුල සිට හමාස් සටන්කාමීන් ප්‍රහාර එල්ල කළ බව තහවුරු වී තිබෙනවා.

පුවත යවන්න