ගුවන් අනතුරක් වලක්වා ගැනීමට ශ්‍රී ලංකන් නියමුවෙක් සමත් වෙයි

ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ශ්‍රි ලංකන් ගුවන් යානයක් ගුවනේ දී සිදුවන්නට ගිය අති දැවැන්ත අනතුරකට මුහුණ දීමේ ආසන්නයට ගොස් නිරුපද්‍රිතව ඊයේ (14) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩ බස්වා ඇති බව වාර්තා වෙයි.

තුර්කි ගුවන් සීමාව තුළදී සිදුවන්නට ගිය මෙම අනතුරේදී බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සමඟ ගැටීමේ අවදානමක් මතුව ඇති අතර ශ්‍රි ලංකන් නියමුවන්ගේ විමසිලිමත් භාවය නිසා එය වළක්වා ගැනීමට හැකිව ඇති බව එම වාර්තාවේ සඳහන් වී තිබේ.

ශ්‍රි ලංකන් ගුවන් නියමුවන් ගුවන් ගමන පිළිබඳව දැඩි විමසිලිමත් බවකින් සිට ඇති අතර ඒ වනවිටත් මෙම යානයට කලින් ලන්ඩනයෙන් පිටත් වූ බ්‍රිටිෂ් එයාර්වේස් යානයක් මෙම යානයට සැතපුම් 15ක් ඉදිරියෙන් ගමන් කරන බව හදුනාගෙන ඇති අතර නියමුවන් ඒ බව නියමුවන් මේ පිළිබඳව ගුවන් පාලක මැදිරියට දන්වා ඇත.

විමසිලිමත් බවකින් තොරව ලැබුණු උපදෙස් මත ගුවන් යානය ඉහළ නැංවූයේ නම් ගුවන් යානා දෙක අහසේදී ගැටී මෑත කාලයේ ගුවනේදී යානා දෙකක් ගැටීමෙන් සිදුවන ලොව බිහිසුණුම ගුවන් අනතුරක් ලෙස මෙම අනතුර ඉතිහාස ගත වීමේ අවදානමක් පැවති බවටද වාර්තා වී තිබේ.

මෙම අවදානම් තත්ත්වය පිළිබඳව ශ්‍රි ලංකන් නියමුවන් අදාළ බලධාරීන් වෙත දැනුම් දී තිබේ.

පුවත යවන්න