චීන බාල පොහොර නැවට මුදල් ගෙවීම වලක්වන වාරණය තවදුරටත්

ප්‍රමිතියෙන් තොර පොහොර තොගයක් මෙරටට රැගෙන ආ චීන සමාගමට හා එහි දේශීය නියෝජිතයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුවට පනවා ඇති වාරණ නියෝගය ලබන 6 වනදා තෙක් දීර්ඝ කර තිබෙනවා.

එම වාරණ නියෝගය දීර්ඝ කරන්නේ ද නැද්ද යන නියෝගය ද එදින ලබාදෙන බවයි කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් අද යළි කැදවූ අවස්ථාවේයි මේ බව සදහන් කෙරුණේ. එම සමාගම මීට පෙර අධිකරණයට පවසා තිබුණේ රුපියල් බිලියනයකට වඩා වටිනා ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට ගෙන්වීමේ ටෙන්ඩරය ලබාගත් චීන සමාගම ඒ අනුව පොහොර තොගයක් ලංකාවට එවා ඇති බවයි. එම පොහොරවල ක්ෂුද්‍ර ජීවීන් සිටින බව අදාළ සමාගම නැව් උපදෙස් පත්‍රිකාව මගින් පළිගෙන ඇතැයිද ඔවුන් ප්‍රකාශ කළා. එහෙත් අදාළ සමාගම ජාතික ශාක නිරෝධායන සේවය වෙත යවා ඇති පොහොර නියදිය පරීක්ෂා කිරීමේ දී හානිකර බැක්ටීරියා ඇති බව තහවුරු වී තිබෙනවා. මේ අනුව වගඋත්තරකාර චීන සමාගම ටෙන්ඩරයේ පිළිගෙන තිබූ කරුණු සම්පූර්ණකර නැති බවයි කොළඹ කොමර්ෂල් පොහොර සමාගම තවදුරටත් පැවසුවේ. ඒ අනුව අදාළ චීන සමාගම වෙනුවෙන් නිකුත්කර ඇති ණයවර ලිපියට අනුව කිසිදු මුදලක් ගෙවීම හෝ ලබාගැනීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබුණා.

මේ අතර ලංකා පොහොර සමාගම ඉදිරිපත් කළ පැමිණිල්ල ද කැදවූ අවස්ථාවේ අදාළ වාරණ නියෝගය ඉවත් කරනවාද නැද්ද යන නියෝගය ලබන 6 වනදා ප්‍රකාශයට පත්කරන බවයි විනිසුරුවරයා සදහන් කළේ.

පුවත යවන්න