චීනයේ සහය නොමැතිව IMF ශ්‍රී ලංකාවට ණය අනුමත කරයිද?

විදෙස් මාධ්‍ය මූලාශ්‍ර කිහිපයක් මීට දින කිහිපයකට පෙර වාර්තා කර තිබුණේ, සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට චීනය දක්වන අකමැත්ත නොතකා, ශ්‍රී ලංකාවට ණය මුදලක් අනුමත කරදීම පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) සළකා බලමින් සිටින බවය.

ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනයේ සහායක් නොමැති වුවද, එලෙස ‘ශ්‍රී ලංකාවට ණය මුදලක් අනුමත කරදීම කෙරෙහි IMF අවධානය යොමුකර ඇතැයි’ යන්න ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු දල්වන ආරංචියක් විය.

දේශීය දේශපාලනඥයන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරින් විසින් වරින්වර කාල රාමු පිළිබඳව අනාවැකි පළකළ ද, IMF සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹී මාස 06කට පසුවත් ශ්‍රී ලංකාවේ IMF ණය ගිවිසුම මෙතෙක් අනුමත වී නොමැත. ශ්‍රී ලංකාවට ලබාදී ඇති චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහාය පිළිබඳ විධිමත් සහතිකයක් මෙතෙක් ලබාදී නැතිවීම මෙලෙස IMF ණය ප්‍රමාදවීමට ප්‍රධානම හේතුවයි.

කෙසේවෙතත් චීන සහායෙන් තොර IMF ණයක් පිළිබඳ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවට දින කිහිපයකට වඩා ආයුකාලයක් නොමැති බව IMF ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විසින් පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

එනම්, චීනයෙන් මූල්‍ය සහතිකයක් ලබා ගැනීමට පෙර ශ්‍රී ලංකාවේ විදේශ අරමුදල් පහසුකම (EFF) සඳහා IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාදීමට තීරණයක් ගෙන හෝ සළකා බලමින් නොසිටින බව IMF එම නිලධාරියා සඳහන් කර තිබුණේය.

ඒ, ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් විසිනි.

ඉන්දියාවේ නවදිල්ලි නුවර දකුණු ආසියානු මාධ්‍යවේදීන් සඳහා පවත්වන ලද පුහුණු වැඩසටහනකදී ශ්‍රීනිවාසන් පවසා ඇත්තේ, අදාළ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා තමාද දුටු නමුත් ඒවා IMF හි නිල ස්ථාවරය නියෝජනය නොකරන බවය.

චීනයෙන් මූල්‍ය සහතිකයක් ලැබෙන තෙක් බලා සිටීම සුදුසුම ක්‍රමය බව ශ්‍රීනිවාසන් එහිදී පෙන්වාදී ඇත.

චීනයෙන් අවශ්‍ය සහතිකය ලබාදීමට පෙර IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා දීමේ මීළඟ පියවර වෙත යෑමට IMF සලකා බලයිද යන්න අනුමාන කිරීමට ඉක්මන් වැඩි බවද ඔහු සඳහන් කර තිබේ.

ණය හිමියන්ගේ එකඟතාවකින් තොරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට රටකට ණය අනුමත කළ හැකිද?

ඇත්තෙන්ම ණය හිමියන්ගේ එකඟතාවකින් තොරව, රටකට ණය අනුමත කිරීමේ ක්‍රමවේදයක් IMF සතුව තිබේද? ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් IMF වෙබ් අඩවිය සිදුකර ඇත. මූල්‍ය අරමුදලේ වෙබ් අඩවියේ එම පැහැදිලි කිරීමට අනුව, ‘කඩිනම් මූල්‍ය ආධාර අත්‍යවශ්‍ය යැයි සළකන්නේ නම් සහ අදාළ රට සුදුසු ප්‍රතිපත්ති අනුගමනය කරමින් සහ ණයහිමියන් සමග එකඟතාවකට පැමිණීමට සද්භාවයෙන් උත්සාහ දරන්නේ නම්, IMF හට නිල හිඟ මුදල් සඳහා ණයදීමේ ප්‍රතිපත්තිය භාවිත කළ හැකිය.’ ඒ සම්බන්ධයෙන් වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ ආකාරයෙනි.

“නියෝජිත පැරිස් සමාජ ගිවිසුමක් හෝ ණයහිමියාගේ කැමැත්ත නොමැති විට, පහත සඳහන් නිර්ණායක සපුරාලන්නේ නම් IMF හට මූල්‍යකරණය සැපයිය හැකිය:

  • ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා IMF වෙතින් කඩිනම් මූල්‍ය ආධාර අත්‍යවශ්‍ය යැයි සළකනු ලබන අතර සාමාජිකයා සුදුසු ප්‍රතිපත්ති අනුගමනය කරයි;
  • ණයහිමියා එවැනි ගිවිසුමකට එළැඹීමට අකමැති වුවද, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය දක්වන වැඩසටහනේ පරාමිතීන්ට අනුකූල දායකත්වයක් මත ණයහිමියා සමඟ එකඟතාවකට පැමිණීමට ණයගැතියා සද්භාවයෙන් උත්සාහ කරයි; සහ
  • හිඟ මුදල් තිබියදීත් මූල්‍ය පහසුකම් සැපයීමට ගත් තීරණය අනාගත අවස්ථාවලදී නිල මූල්‍ය පැකේජ බලමුලු ගැන්වීමේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ හැකියාව කෙරෙහි අනවශ්‍ය ඍණාත්මක බලපෑමක් ඇති නොකරනු ඇත.”

IMF නියම කරන ලද කාර්යයන් 15ක් ඉටු කරයි…

මාස ගණනක අරගලයකින් සහ අභියෝගවලින් පසුව, IMF විසින් නියම කරන ලද කාර්යයන්(නිර්දේශයන්) 15ක් ඉටු කිරීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ මෙවැනි පසුබිමකය.

ඒ අනුව IMF නිර්දේශ කළ අවසන් අවශ්‍යතාවද පසුගිය සතියේ ඉටුකළ බවත්, ඒ සමඟ IMF සහන මල්ල ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සිය කාර්යභාරය ඉටු කර ඇති බවත් ජනාධිපති වික්‍රමසිංහ තහවුරු කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කරන ලද්දේ, පසුගිය 21වැනිදා කොළඹ දී ‘ව්‍යාපාරික සංසදයක්’ අමතමිනි. IMF නිර්දේශ අතුරින් 15වැන්න වූයේ විදුලි ගාස්තු ඉහළ දැමීම බව හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.

“පෙබරවාරි 15 දක්වා IMF අපට අවසාන දිනය ලබාදී තිබුණා. ඒ අනුව පෙබරවාරි 15 වෙනිදා සවස 06:00 වන විට අප එම අවශ්‍යතාව සම්පුර්ණ කර, අපෙන් බලාපොරොත්තු වූ සියල්ල සම්පූර්ණ වූ බව වොෂිංටන් වෙත දැනුම් දුන්නා. මේ ප්‍රශ්න 15න් එක ප්‍රශ්නයක් විතරයි ප්‍රමාද වුණේ. ඒ විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයි. විදුලිබල මණ්ඩලය වසරකට රුපියල් බිලියන 230 ක පාඩුවක් ලබනවා. විදුලි බිල වැඩි කිරීමට ගත් තීරණයට මේ රටේ එක් පුද්ගලයෙක් විරුද්ධ වුණා. මේ නිසා IMF වෙතින් ආධාර ලැබීම සති හයකින් ප්‍රමාද වුණා. අපට පැවරී ඇති කාර්යයන් 15ම අවසන්. දැන් තියෙන්නේ IMF කාර්යභාරය. මේ ගැන තවදුරටත් සාකච්ඡා කරනවා.” යැයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය මගින් දැකගන්නට ඇත්තේ, චීන සාධකය නොසළකා හැර වුවත් IMF විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය මුදල නිදහස් කරනු ඇතැයි රජය තවමත් අපේක්ෂාවෙන් පසුවන බවය.

අනෙක් අතට එලෙස IMF නිර්දේශයන් සියල්ල ඉටුකිරීම සහ IMF වෙබ් අඩවියේ දැක්වෙන, ණය හිමියන්ගේ එකඟතාවක් නොමැති අවස්ථාවලදී, අවශ්‍යතාවන් සහිත රටවලට ණය නිකුත් කිරීමේ ක්‍රමවේදයට අදාළ ප්‍රතිපාදනයන්ද එකිනෙක සමපාත වන බව පෙනීයයි.

එම නිසා ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් නවදිල්ලියේදී කරන ලද ප්‍රකාශයට පටහැනිව ශ්‍රී ලංකාවට IMF වෙතින් සතුටුදායක ප්‍රවෘත්තියක් ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කිරීමේ යම් ආකාරයක තර්කානුකූල බවක් පවතින බවද දැකගත හැකිය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න වෙයිද?

ශ්‍රී ලංකාව විසින් මෙලෙස IMF නිර්දේශයන් සියල්ල ඉටුකිරීම සහ එම කැපවීමේ ප්‍රතිඵලදායකභාවය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ බීබීසී සිංහල සේවය සමග මෙසේ අදහස් පළකළේය.

“දැන් පෙබරවාරි 15වැනිදා වෙනකොට IMF නිර්දේශ සියල්ල ඉෂ්ට කරන්න රජය කටයුතු කරලා තියෙනවා. දැන් IMF එකට පුළුවන් පවතින අවස්ථා මොනවද කියල සළකා බලන්න. කොහොම උණත් චීනය තමන්ගේ ණය සම්බන්ධයෙන් ලබාදීලා තියෙන සහතිකය ප්‍රමාණවත් නැති බව තමයි IMF එක ප්‍රකාශ කරලා තියෙන්නේ. මෙතැනදී IMF එකත් යම් ගැටලුකාරී තත්වයකට පත්වෙලා තියෙනවා. ඒ තමයි, චීනය ප්‍රමාණවත් සහතිකයක් ලබා නොදෙන නිසා ලංකාවට සහනයක් ලබානොදී ඉන්නවද කියන එක IMF සළකා බලන්න සිද්ධ වෙනවා. එහෙම නොදී හිටියොත්, මොකද වෙන්නේ. මේ වෙනකොට ලංකාව වගේම තවත් රටවල් ගණනාවක් මූල්‍ය අර්බුදවලට ගමන් කරමින් තියෙනවා. ලංකාව ගැන එහෙම තීරණයක් ගත්තොත්, අනෙක් රටවල් ගැනත් IMF එකට ගන්න වෙන්නේ එවැනිම තීරණයක්.”

අනෙක් අතට චීනය නොසළකා හරිමින් අනෙක් ණයහිමියන් සමග එක්ව ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබාදුනහොත්, එය වක්‍රාකාරයෙන් චීනයට ලබාදෙන වාසියක් මෙන්ම, අනෙක් ණයහිමියන්ට කෙරෙන අසාධාරණයක් බවද ආචාර්ය දුනුසිංහ පෙන්වාදෙයි.

“චීනය අඩු සහනයක් ලබාදෙද්දී අනෙක් රටවල් ඊට වඩා වැඩි සහනයක් ලබාදෙනවා නම්, අනෙක් රටවල් ලබාදෙන සහනය වක්‍රාකාරයෙන් චීනයට වාසියක් වෙනවා. එතන තමයි ගැටලුව තියෙන්නේ. ඒ නිසා තමයි ණයකරුවෝ සියල්ල එක මතයකට එන්න ඕනේ කියල IMF එක කියන්නේ. හැබැයි චීනය තමන්ගේ ස්ථාවරය වෙනස් කරන්නේ නැත්නම්, එතකොට IMF එකට කරන්න පුළුවන් දේ තමයි, අනෙක් ණයකරුවන් සමග සාකච්ඡා කරලා ඔවුන්ගේ එකඟතාවක් ලබාගැනීම. IMF එක මෙතැනදී යම් ආකාරයක අතරමැදියාගේ භූමිකාවක් නිරුපණය කරනවා කිව්වත් හරි. මෙතන තියෙන්නේ එක පැත්තකට විතරක් තියෙන අවාසියක් නෙමෙයි. ලංකාවට දීලා තියෙන ණය ආපසු අයකරගන්න නම්, අනිවාර්යයෙන් ලංකාවේ ආර්ථිකය යළි සැකසෙන්න ඕනේ. එහෙම ආර්ථිකය සැකසෙන්න නම්, ලබාගෙන තියෙන ණයවලට සහනයක් ලබාදෙන්න ඕනේ. ඒ නිසා ලංකාවට සහනයක් ලබාදීම සම්බන්ධයෙන් අනෙක් පාර්ශව අතර එකඟතාවක් ඇතිකරගන්න චීනයේ ස්ථාවරය අදාළ වෙන්නේ නැහැ. අනෙක් ණයකරුවෝ කැමති නම් චීනයේ සහනය මත තමන්ට එකඟතාවක් ඇතිකරගන්න, එතකොට IMF එකට ලංකාවට ණයක් ලබාදීමේ හැකියාව තියෙනවා.”

කෙසේවෙතත් චීන සාධකය මගහැර ණය මුදලක් නිදහස් කිරීමේදී, ශ්‍රී ලංකාව විසින් තවත් නිර්දේශ කිහිපයක් ඉටුකළ යුතු බවට IMF විසින් නව කොන්දේසියක් පැනවීමේ හැකියාවක් පවතින බව ද ආචාර්ය දුනුසිංහගේ අදහසයි.

“උදාහරණයක් විදිහට ලංකාවේ දේශීය ණයත් ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කියල ඉල්ලන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට ණය විදිහට රුපියල් සීයක් තියෙනවා. මේ තියෙන තත්වය යටතේ ඒක ගෙවාගෙන යන්න බැහැ. එතකොට සීය හැටකට අඩුකරන්න ඕනේ. හැබැයි ණයකරුවෝ හැටකට අඩුකරන්න කැමති නැහැ. ඔවුන් අඩුකරන්නේ හැත්තෑව දක්වා පමණයි. එතකොට අපිට සිද්ධ වෙනවා තව දහයක් අඩුකරගන්න. කොහොමද ඒක කරන්නේ. එතැනදී තමයි අපිට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් තවදුරටත් බදු වැඩිකරන්න ලංකාවට සිද්ධ වෙනවා. ඒ වගේ දේශීයව ණය තිරසාරභාවය ඇතිකරගන්න තවත් යම් යම් දේ කරන්න කියලා IMF එක ඉල්ලා සිටීවි. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ඉල්ලීම තවම ආවේ නැති උණාට, ඉදිරියේදී ඒක එන්න ඉඩ තියෙනවා.”

මෙවැනි ගැටලුසහගත ස්ථානයන් පැවැතියද, අවසානයේ IMF විසින් තවත් කොන්දේසි කිහිපයක් යටතේ හෝ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය ණය අනුමත කරනු ඇති බව ආචාර්ය දුනුසිංහගේ ස්ථාවරය යි. ලබන මාසය(මාර්තු) ඇතුළත IMF විසින් එම සහනය ලබාදෙනු ඇති බවටද ආචාර්ය දුනුසිංහ අනාවැකි පළකරයි. එසේ නොමැතිව චීන සාධකය මත රැඳී සිට, ශ්‍රී ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කළහොත්, IMF නමැති ආයතනය පිහිටුවීමේ අරමුණු ප්‍රශ්නගත වන බව ඔහුගේ අදහසයි.

මෙහිදී අවධානය යොමුකළයුතු තවත් වැදගත්ම කාරණයක් වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් IMF ණය වැඩසටහනේදී ණය ප්‍රතිව්‍යුහගත කරණය කිරීම වෙනුවෙන් සළකා බැලෙන්නේ, රටේ ද්විපාර්ශ්වික ණයහිමියන් පමණක් බවයි.

කෙසේවෙතත් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආයතන කිහිපයක බහුපාර්ශ්වික ණය අනිවාර්යයෙන් ආපසු ගෙවීමට ශ්‍රී ලංකාව බැඳී සිටී.

කැබිනට් ප්‍රකාශක සහ ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන පසුගිය අඟහරුවාදා කොළඹදී ජනමාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කරන ලද්දේ මෙම වසරේ මුල් භාගයේදී ඩොලර් බිලියන 2.6 ක් වටිනා බහුපාර්ශ්වික ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකාව පියවර ගන්නා බවය.

එම ඩොලර් බිලියන 2.6ට ඩොලර් බිලියන 2 ක ණය මුදල් සහ ඩොලර් මිලියන 540 පොලී ගෙවීම් ඇතුළත්වනු ඇත.

එහෙත් පවතින දැඩි විදේශ විනිමය අර්බුදය හමුවේ මෙම ඩොලර් ප්‍රමාණය රැස්කර ගන්නා ආකාරය පිළිබඳව කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ නැත.

ඒ අනුව චීනය විසින් වසර දෙකක කාලයකට පමණක් සිය ඩොලර් බිලියන 07කට වැඩි සිය සම්පුර්ණ ණය ප්‍රමාණයෙන්, ඩොලර් බිලියන 02කට අදාළ පොළිය පමණක් කපාහැරීමට නාමිකව කැමැත්ත පළකිරීම යන කාරණය විසින් ශ්‍රී ලංකාවේ ණය අර්බුදය තවදුරටත් ඉදිරියට රැගෙන යමින් පවතින බව දැකගත හැකිය. – BBC

පුවත යවන්න