මේ වන විට අපගේ රෝහල් පද්ධතිය තුළ අත්‍යාවශ්‍යම ජීවිතාරක්ෂක ඖෂධ නැත. ඉන්ධන නැති හෙයින් පිරවුම්හල් අසල දිගු රථවාහන පෝලිම් දක්නට ලැබේ. ගෑස් හිඟය. දෛනිකව පැය තුනකට අධික විදුලි කප්පාදුවකි. විදෙස් ණය ගෙවා ගැනීමට නොහැකිව තවත් අර්බුදයකි.
මෙකී ප්‍රශ්න, ගැටළු, අර්බුදවලට රටේ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනා රැස්වන පාර්ලිමේන්තුවෙන් විසඳුමක් ලැබෙනු ඇති ද?
පසුගිය මාර්තු මස අග සිට මෙරට ඇතිවූ දේශපාලන හා ආර්ථික පීඩාකාරී තත්ත්වයට සැබෑ විසඳුම් ලබාදීමට මහජන නියෝජිතයින් කටයුතු කරන්නේ ද, ඔවුන් ඒ ගැන පර්ලිමේන්තුවේ දී සැබෑ ලෙස කතා කරන්නේ ද යන්න ප්රශ්නාකාරී ය.
ජනතාව මුහුණපාන ගැටලු විසඳීමට පර්ලිමේන්තුව ගෙන ඇති පියවර ගැන අදහස් දක්වමින් පුත්තලමේ ධීවරයෙකු වන කේ. ෆොන්සේකා මෙසේ කියා සිටියේ ය: “ගාණක්වත් නැහැ පාර්ලිමේන්තුවේ කට්ටියට. කිසිම ගැම්මක්වත් නැහැ. පර්ලිමේන්තුව මොනවද නිකං තේරුමක් නැහැ ඕහේ එක එක්කෙනාට වෙච්ච හානි පිළිබඳව යි, ඒගොල්ලන්ගේ ආරක්ෂාව පිළිබඳව යි කතා කරනවා. ඒගොල්ලෝ මොනවද අද කතා කරන්න ඕනේ?
“ඒ ගොල්ලන්ගේ එක මන්ත්‍රීකෙනෙක් මරුණා කියලා ඒගොල්ලෝ හඬ නඟනවා. සාමාන්‍ය මිනිහෙකුත් මරුණා රඹුක්කන දී. එක්කෙනෙක් හනුමා ගිනි අරං වගේ ගියා යන්න.”
ගෝඨාගෝගම අරගල භුමියේ සිටින විරෝධතාකරුවන් පවසන්නේ ද මේ වන විට භූමියේ යථාර්ථය පාර්ලිමේන්තුව තුළ නියෝජනය නොවන බව යි. සැබෑ ජනතා හඬ පාර්ලිමේන්තුව තුළ ඉස්මතු නොවන බව ඔවුන්ගේ අදහස වී තිබේ.
පාර්ලිමේන්තුව කාලය හා මුදල් කා දැමීමක්ද?
පසුගිය සති දෙක තුළ පර්ලිමේන්තුවේ සිදුවූ සුවිශේෂි කටුයුතු සලකා බැලීමේ දී නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම් දෙකක් පැවැත්විණි.
නියෝජ්‍ය කතානායකධුරයෙන් රංජිත් සියඹලාපිටිය ඉල්ලා අස්වීමෙන් පසු එක් ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර, දවස පුරා පැවති එම ඡන්ද විමසීමේදී රංජිත් සියඹලාපිටිය යළි නියෝජ්‍ය කතානායකධුරයට පත්විය. ඊට පසු දින ඔහු යළි ධුරයෙන් ඉල්ලා අස්විය.
ඒ අනුව පසුගිය සතියේ තවත් රහසිගත ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර එහිදී අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා නියෝජ්‍ය කතානායකධුරයට තේරී පත්විය.
පාර්ලිමේන්තුව රැස්වීම වෙනුවෙන් රුපියල් මිලියන 9කට අධික ජනතා මුදලක් දෛනිකව වැයවන අතර, පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් සහන මිලට ආහාර පාන මෙන්ම දෛනික පැමිණීම වෙනුවෙන් අමතර දීමනා ද සැපයෙයි.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දුන් අතර කැබිනට් අමාත්‍යවරු සිව්දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
ඒ, විදේශ කටයුතු, විදුලිබල හා බලශක්ති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන, සහ නාගරික සංවර්ධන හා නිවස යන අමාත්‍යංශ සඳහා යි.
ඖෂධ හිඟය හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්රය මේ වන විට දැඩි අර්බුදකාරී වාතාවරණයක පවතියි.
ආණ්ඩුවේ ප්‍රමුඛතාව
පසුගිය මාර්තු 31 වැනි දා සිට විවිධ අවස්ථාවල දී රට තුළ සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් නිවාස හා දේපල හානි වූ සියලුදෙනාට සාධාරණය ඉටුකරදීම සඳහා තමන් පෞද්ගලිකවම මැදිහත් වන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පැවසීය.
ඔහු කියා සිටියේ මේ වන විටත් තමන් මේ පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ඡා සාකච්ඡා කර ඇති බව යි.
හිටපු අග්‍රාමාත්‍යවරයාට සහ ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ හා ප්‍රචණ්ඩක්‍රියා ආරම්භ වූයේ පසුගිය මාර්තු 31 වෙනිදා ජනාධිපතිවරයාගේ මිරිහාන නිවස අසල ඇතිවූ ජන විරෝධයත් සමග ය.
එම සිද්ධියෙන් පසු මේ දක්වා දිවයින පුරා විවිධ ප්‍රදේශවල සිටි ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා නගර සභා සභාපතිවරුන්, ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ඉලක්ක කරගනිමින් සිදුවුණු නිවාස සහ දේපළ ගිනිතැබීම් හා විනාශ කිරීමේ සිද්ධීන් රැසක් වාර්තා වී ඇතැ යි අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේ ය.
ඒ පිළිබඳ සියලු තොරතුරු ලබාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.
ඒ පිළිබඳ සියලු තොරතුරු ලබාගෙන ඔවුන්ට සාධාරණය ඉටු කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද ඇමති රණතුංග අවධාරණය කළේ ය.
මේ අතර, පසුගිය දිනවල ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය තුළ පොදු සහ පෞද්ගලික දේපළවලට සිදුවූ අලාභය පිළිබද සභාව කල්තැබීමේ විවාදය අදත් (මැයි 19) පාර්ලිමේන්තුවේ දී පැවැත්විමට නියමිත යි. ඒ, තුන්වන දිනට යි.
මැයි 18 සහ 17 වනදා මෙම විවාදය පාර්ලිමේන්තුවේ දී පැවැත්වීය.
දේශපාලන විචාරකයින් පවසන්නේ රටේ දරුණු ආර්ථික අර්බුදයක් ඇති මොහොතක රටේ උත්තරීතර පාර්ලිමේන්තුව රටේ දැවෙන ප්‍රශ්න වලට විසදුම් සෙවීමට අවශ්‍ය නීති සම්පාදනය කරනවා වෙනුවට තමන්ට හා තමන්ගේ දේපළවලට සිදුවූ හානිය පිළිබඳව පමණක් අවධානය යොමුකිරිම හාස්‍යජනක බවයි.
රෝහල්වල දැඩි සත්කාර ඒකක (ICU) සහ අධිසත්කාර ඒකක (HDU) වැසෙයි ද?
සියලුම රෝහල්වල දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකක පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය රුධිර වායු විශ්ලේශක යන්ත්‍ර සදහා අවශ්‍ය ප්‍රතික්‍රීයක නොලැබී යෑමෙන් ඉදිරියේ දී එම ඒකක පවත්වා ගැනීමට නොහැකි දැඩි අර්බුදයක් මතුව ඇතැ යි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අනාවරණය කළේ ය.
එම සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසා සිටියේ මේ හේතුවෙන් දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකකයන්හි වායු සැපයුම් යන්ත්‍ර මඟින් ප්‍රතිකාර ලබන රෝගීන් දැඩි අවධානමකට ලක්වන අතර, රුධිර වායු විශ්ලේෂක යන්ත්‍ර නොමැතිව එම ඒකක පවත්වාගැනීම පවා නිශ්ඵල විය හැකි බව යි.
එම යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය ප්‍රතික්‍රීයක සඳහා සැපයුම්කරුවන් වෙත ගෙවිය යුතු රුපියල් මිලියන 300 පමණ මුදලක් ගෙවීම, මාස සතරකට වැඩි කලක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැර හැරීම නිසා තවදුරටත් අදාළ ප්‍රතික්‍රීයක ලබාදීම කළ නොහැකි බව අදාළ සමාගම් විසින් දන්වා තිබීම මේ තත්වයට ප්‍රධාන හේතුවක් බව රවී කුමුදේශ් සඳහන් කළේ ය.
මෙවැනි ගැටලු සඳහා තාවකාලික පිළියමක් හෝ යෙදීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් සැපයුම්කරුවන් ඉතා අසීරු තත්වයකට පත්ව ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
පර්ලිමේන්තුවේ කාලය යොමුවන්නේ ජනතා ප්‍රශ්න ගැන ද?
“කතානායකතුමණි, අපේ මන්ත්‍රීවරයෙක්ගේ වරප්‍රසාද රීති ප්‍රශ්නයක් මතුව තිබෙනවා රාසමානික්කම් මන්ත්‍රීතුමාට. එතුමට පණිවිඩයක් ලැබුණා මූලාසනය ගන්න පර්ලිමේන්තුවට එන්න කියලා. එතුමා ඇවිල්ලා වාඩිවෙලා හිටියා. ඒ වෙලාවේ එතුමාගේ නම අඬගහන්නේ නැතිව ශාන්ත බණ්ඩාරගේ නම අඬගැහුවා ශාන්ත බණ්ඩාර. ශාන්ත බණ්ඩාර පැනල් එකේ නැහැ. පැනල් එකේ නැති එක්කෙනෙක්ව මූලාසනයේ ඉන්න කියලා රාසමානික්කම්ව නිකං හෑල්ලුවට ලක්කළා,” යනුවෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මැයි 18 වැනිදා කතානායකවරයාගේ අවධානයට ප්‍රශ්නයක් යොමු කරමින් පැවසුවේ ය.
මෙහිදී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කියා සිටියේ, “අපි දිගින් දිගටම ප්රශ්නය ඇහුවා. ඒ ප්රශ්නය ඇහුවේ අපේ ගෙදර කඩන එකවත් බිඳපු එක ගැනවත් නෙමේ. වර්තමානයේ රටේ ජනතාවගේ බරපතල ප්‍රශ්න. ඔබතුමා දිගින් දිගටම කල්දානවා. අපි බලාපොරොත්තු වුණා රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙනකොට එතුමා විපක්ෂයේ ඉන්නකොට කතා කළේ මේ රට හදන්නට ගොඩනගන්න වැඩපිළිවෙල. නමුත් මේ දින තුනක් මේ රටේ ප්රශ්නය පාර්ලිමේන්තුවේ කතා වෙන්නේ නැහැ. ගිනි තියපු ඒව ගැන කතා වෙනවා,” යනුවෙනි.
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා කියා සිටියේ: “අද අපි පාර්ලිමේන්තුවට ආවාම මිලියන 22ක් එළියේ ඉඳලා බලාගෙන ඉන්නවා ඉන්ධන මිල අඩු කරන්නේ කොහොමද, අවහිරතාවයෙන් තොරව ගෙනියන්නෙ කොහොමද කියලා ඒවා පිළිබඳ කතා කරනවා. මේ පුටුවක් ගැන යි, පුටුවට පත්වෙන්න බැරි වෙන එක යි, පුටුවට දුන්නැති එක ගැනයි කතා කරනවා මේ උදේ පාන්දර පාර්ලිමේන්තුවේ.”
මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රී තිස්ස අත්තනායක අද (මැයි 19) පාර්ලිමේන්තුවේදී පැවසුවේ මේ වන විට කිසිදු ඵලදායි ක්‍රියාවක් ඉටු කිරීමට අපොසොසත් වී ඇති බවත් අදාළ පනත් කෙටුම් පත් පාර්ලිමේන්තුව ඉක්මනින් ගෙන එම තුළින් නැතිවී ඇති ජනතා විශ්වාසය ගොඩනගා ගත හැකි බවයි. – BBC Sinhala