දේවස්ථාන අත්බෝම්බ සිද්ධියට සැක වෛද්‍යවරයාගෙන් ,රහස් ප්‍රකාශයක්

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමුවූ අත්බෝම්බය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින පිළියන්දල ප්‍රදේශයේ වෛද්‍යවරයා බෝම්බ සිද්ධිය පිළිබඳව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ පැය දෙකකට ආසන්න කාලයක් අද (26) රහස් ප්‍රකාශයක් ලබාදුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරු පැය දෙකකට ආසන්න කාලයක් මහෙස්ත්‍රාත්වරියගේ නිල කාමරයේදී මෙම ප්‍රකාශය ලබාදී තිබෙනවා.

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ  9 (1) වගන්තිය ප්‍රකාරව කොළඹ අපරාධ කොට්ඨාසයේ රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කරමින් සිටින මෙම සැකකරු රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) පොලීසිය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මෝසමක් ගොනු කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර සිටියේ, රැදවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින දොන් ෂර්ලි දයානන්ද හේරත් යන සැකකරුට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 127 වගන්තිය ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බවයි.

පුවත යවන්න