නව විකෘතියක් මතු නොවුණොත් “මේ වසරේ කොරෝනා අවසන් “

ඔමික්‍රොන් ප්‍රභේදය විකෘති වීම හෝ වෙනත් අනපේක්ෂිත යමක් සිදු නොවුණහොත් මෙම වසර තුල කොරෝනා වසංගතය නිමාවට පත්වනු ඇති බව අමෙරිකාවේ ප්‍රධානතම වසංගත රෝග විද්‍යාඥ , විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුචි පවසනවා.
මේ වන විට ඔමික්‍රොන් ප්‍රභේදය වේගවත් ව්‍යාප්තියක් පෙන්නුම් කළ ද එය තාවකාලික තත්ත්වයක ලක්ෂණ පෙන්නුම් කරන බවයි වෛද්‍යවරයා පැවසුවේ.
දෙසතියකට පෙර බ්‍රිතාන්‍යයෙන් දෛනික ආසාදිතයන් ලක්ෂ 2ක් ඉක්මවා වාර්තා වූ අතර මේ වන විට දෛනික ආසාදිතයන් ගණන සියයට 41කින් පහත වැටී තිබෙනවා.
ඉන්දියාවෙන් වාර්තා වූ 275,000 ක් ඉක්මවූ දෛනික ආසාදිතයන් ගණන ද 40,000කින් පමණ පහත වැටී පවතින බවයි වාර්තාවන්නේ.
ඒ අනුව ඔමික්‍රොන් ව්‍යාප්තිය වඩාත් වේගයෙන් අවම වන ලක්ෂණ ඇතැම් රටවල් තුල දී පෙන්නුම් කර තිබෙනවා.
කෙසේ වෙතත් යම් ආසාමාන්‍ය විකෘතියක් මතුවුවහොත් අවදානම ඉහළ විය හැකි වුවද දැනට පවතින තත්ත්වය වසංගතයේ අවසන් අදියරේ ආරම්භය ලෙසයි වෛද්‍ය ඇන්තනි ෆවුචි සදහන් කළේ.
කොරෝනා එන්නත්කරණය මගින් විකෘති අවදානම් අවම කළ හැකි බව ද ඔහු පෙන්වා දෙනවා. පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානය ද පැවසුවේ ඔමික්‍රොන් වසංගතයේ අවසානය විය හැකි බවයි.

පුවත යවන්න